විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය මඟින් හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා දුලි ඉංජිනේරුවන්ගේ සංගමය කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරනවා.
මේ දිනවල සිදුවන විදුලි බිඳවැටීම් ඒ සඳහා සිදුකරනු ලබන කඩාකප්පල් කාරී ක්‍රියාවන් බවටයි එම සංගමය පවසන්නේ.
ඉන්ධන අර්බුදය සහ වරින් වර විදුලි බලාගාර ආශ්‍රිතව ඇතිවූ දෝෂ සහගත තත්ත්වයන් මත වරින වර සිදුවූ විදුලි කප්පාදු හේතුවෙන් රට තුළ දැඩි අර්බුදකාරී වාතාවරණයක් හට ගත්තා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අඛණ්ඩව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග ලබා දීමට මේ වන විට එකඟතාවය පළ කළ ද බලාගාර කිහිපයක් පසුගිය දින කිහිපයේ අවස්ථා කිහිපයකදී ඉන්ධන අවසන් වීම හේතුවෙන් අක්‍රිය වුණා.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අප කල විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කලේ විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් ඉන්ධන සඳහා මුදල් ලබා දීමෙන් පසු අවශ්‍ය ඉන්ධන තොග විදුලිබල මණ්ඩලව වෙත ලබා දීමට කටයුතුකරන බවයි.
පවතින වාතවරණය හමුවේ විදුලිබල මණ්ඩලය විසින් ඉදිරි මාස 3ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක්ද සිදුකර ඇති අතර එහි අවසන් තීරණය හෙට දිනයේ ගැනීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කලේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ජනතාවට අවම බලපෑමක් සිදුවන පරිදි විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.
මේ අතර විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කරමින් පසුගිය 11 වැනිදා ගැසටි නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් විදුලි පාවිච්චිකරන්නගේ සංගමය චෝදනා කර සිටින්නේ මේ හරහා හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා විදුලි ඉංජිනේරුවගේ සංගමය කටයුතු කරන බවත් මේ දිනවල සිදුවන හදිසි විදුලි බිඳවැටීම් ඒ සඳහා සිදු කරන කඩාප්පල්කාරී ක්‍රියාවන් බවයි.