අද (21) උදෑසන ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115ක් පමණ (කිලෝ මීටර් 213ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්ත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
ගාල්ල ධීවර වරායෙන් 2022 පෙබරවාරි මස 08 වන දින ධීවර කටයුතු සඳහා මොහු පිටත්ව ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
‘රාජා 01’ බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හදිසියේ රෝගි තත්ත්වයට ලක්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්ත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන්.