ඉන්ධන අර්බුදයත් සමග කැළි කසළ ඉවත් කිරීමේ රථ සඳහා ප්‍රමාණවත් ඩීසල් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල රැස් කරන කැළිකසළ ඉවත් කර ගැනීමට නොහැකිව ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ.
කොළඹ මහ නගර සභාව තුළ දෛනිකව එකතු වන කැළිකසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500ක් පමණ වේ.
ඒවා ඉවත් කිරීම සඳහා කොළඹ මහ නගර සභාව සතු ලොරි රථ 40ක් සහ පුද්ගලික අංශයෙන් ලොරි රථ 40ක් පමණ යොදවා තිබේ.
ඒ අනුව මෙම ලොරි රථවලට ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් ලොරි රථ කිහිපයක් ධාවනය කිරීමට නොහැකි වී ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම පවතින අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල සිටීමට සිදු වීම නිසා කැළිකසළ එකතු කිරීමට යාමේ යම් ප්‍රමාදයකට මුහුණ දීමට සිදුව ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම පැවසීය.
ඒ අනුව ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කයේ මහනගර සභා, නගර සභා බල ප්‍රදේශවලටද කොළඹ මහ නගර සභාවට අමතරව දිස්ත්‍රික්කයේ සෙසු මහ නගර සභා සහ නගර සභාවල පරිපාලන කටයුතුවල වාහනවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ ගැටලු මතුව ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායකගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ දැනට කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී නොමැති බවත් ලොරි රථ සහ ට්‍රැක්ටර් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් තරම් ඇති බවත්ය.