හර්ෂ මේ දවස් කොහොමද ගෙවෙන්නේ?
මේ දවස්වල එක් නාට්‍යයක වැඩකටයුතු කරගෙන යනවා. ඉරුදෙණියාය නාට්‍යයට අලුතින් සම්බන්ධ වුණා. සකර්ම නාට්‍යයේ රූගතකිරීම් සිදුකර අවසන්. ඊට අමතරව මුකුත් නෑ. දැන් ඇත්තටම වැඩ එනවා අඩුයි. ටෙලිනාට්‍ය එක්ක කාර්යබහුල වෙලා හිටි කාලයක් මට තිබුණා. ඒ කාලෙ මට වේදිකාවට සම්බන්ධ වෙන්න වෙලාවක් හොයාගන්නත් අමාරු වුණා. නමුත් දැන් මම ආසාවෙන් ඉන්නවා වේදිකාවටත් නැවත සම්බන්ධ වෙන්න.
මොකද්ද නිර්මාණ අඩුවෙන්න හේතුව?
මම කොරෝනාවලින් පස්සේ තීරණේකට ආවා ටිකක් අඩුවෙන් වැඩ තෝරාබේරගෙන කරනවා කියලා. සමහර නිර්මාණවලට සම්බන්ධ වුණත් පසුව මට තේරුණා මාව ඒ නිර්මාණයේදී භාවිතා වෙලා විතරයි කියලා. ගොඩක් නිර්මාණවලට මාව තෝරගත්තේ ප්‍රධාන නළුවව කැපිලා පෙන්නන්න තියෙන උවමනාවට. ඉතින් එහෙම නාට්‍යවලට සම්බන්ධ වෙන එක අපරාදයක් වගේම දුකක්. නමුත් ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් වුණේ මාවම ක්ෂේත්‍රය තුළ ප්‍රතික්ෂේප වුණු එක. මම එක නිර්මාණයක් බාරගන්න බෑ කිව්වොත් දිගින් දිගටම කතාව යන්නේ හර්ෂ කියන්නේ ලොකු සීන්කාරයෙක් කියලා. මාත් එක්ක එකට හිටපු අයත් මට විරුද්ධව තැන් තැන්වල ගිහින් කියලා තියෙනවා ඒ කතාව. කලාකාරයෙක්ට ක්ෂේත්‍රය ඇතුළෙන්ම ඒ වගේ කතාවක් ගියා කියන්නේ ගමන අපහසුයි. මම වෘත්තිමය නළුවෙක්. මම කොච්චර වේගෙකින් සීන් එකට ලෑස්ති වෙනවද කොච්චර තාත්විකව ඒ සීන් එක ඇතුළෙ ඉන්නවද, කොච්චර වෙලාවට වැඩ කරනවද කියලා මාත් එක්ක ඉන්න මිනිස්සු දන්නවා. මම වෘත්තිමය විදිහට වැඩ කරද්දි සෙට් එක ඒ විදිහට නැත්නම් මම ඒ සම්බන්ධව සෑහෙන්න ප්‍රශ්න නගලා තියෙනවා. ඒවත් ගොඩක් අයට දිරෙව්වේ නෑ. නමුත් ඒකට මට කරන්න දෙයක් නෑ. එතනින් පස්සෙ තමයි හර්ෂ කියන්නේ ලොකුසීන් කාරයෙක් වලිකාරයෙක් කියලා කතා පැතිරෙන්නේ. මට විතරක් නෙවෙයි කාට වුණත් අසාධාරණයක් වෙනවනම් මම ඒ වෙනුවෙන් කතා කරනවා.
ඔබ දක්ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. අදහසක් නැද්ද ටෙලි නාට්‍ය පැත්තෙන් ඔබේම නිර්මාණයක් කරන්න?
ඔව්. මම 2008 වර්ෂයේ අධ්‍යක්ෂණය කළ අට්ටාලං කියන වේදිකා නාට්‍යය යෞවන සම්මාන උළෙලේ සම්මාන 7ක් දිනාගත්තා. ටෙලි නිර්මාණයක් කරන්නත් ආසාවක් තියෙනවා. බලමු.
ඇයි ඔබ අඩුමතරමින් රූපවාහිනී වැඩසටහන්වලවත් පේන්න නැත්තේ?
ඇතැම් රූපවාහිනී නාළිකාවලින් පවා මාව දැන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. මට ඒ නාළිකා ඇතුළෙන්ම ඉතින් ඒවා ආරංචි වෙනවා. මම චැනල් ප්‍රොමෝට් කරන්න කැමති නළුවෙකුත් නෙවෙයි. චැනල් එකෙන් මම ප්‍රොමෝට් වෙන්න කැමතිත් නෑ. මගේ රස්සාව රඟපෑම විතරයි. ඒ දේ මම හරියට කරනවනම් මට වෙන දේවල් තුළින් පෙනී ඉන්න ඕන නෑ. මම තනි ගමනක් යන මිනිහෙක්.
එදා ඔබේ පළමු ටෙලි නිර්මාණය වුණු මේ වසන්ත කාලයයි තුළින් රඟදැක්වූ චරිතයට අදටත් ආදරේ කරන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා…
ඇත්තටම ඔව්. ආනන්ද අබේනායක මහත්මයාගේ මේ වසන්ත කාලයයි නාට්‍ය නිසා තමයි මට මෙච්චර දුරක් හෝ එන්න පුළුවන් වුණේ. එම නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීමත් අහම්බයක්. එතනින් පස්සේ මම නිර්මාණත් එක්ක මාර විදිහට කාර්යබහුල වුණා. එය අමතක නොවන සහ අදටත් කතාබහට ලක්වන චරිතයක්. නමුත් හොඳම වැඩේ කියන්නේ ඔය නාට්ටියට සම්මාන විශාල සංඛ්‍යාවක් හිමිවුණා. නමුත් කිසිම සම්මාන උත්සවේකට මට ආරාධනා ලැබුණේ නෑ.
හේතුව?
ඒකට හේතුවත් ඉතින් අර විවිධ කටකතා පැතිරීමම වෙන්න ඇති. ආරාධනා නොලැබුණු නිසා කියනවා නෙවේ කොහොමත් මම කැමති නෑ හරි අමාරු ඇඳුම් ඇඳන් ගිහින් ඔතන ඉඳගෙන ඉන්න. කොටින්ම සපත්තු දෙකක් දාන්නවත් මම කැමති නෑ. ඒ නිසා ආරාධනා නොලැබෙන එකත් අවුලක් නෑ. කවදාවත් දැකලා නැති මිනිස්සු නළු නිළියො කියලා ඔතන ගිහින් ඉන්නවා මම දැකලා තියෙනවා. මම කියන්නේ ඒක නරක නෑ. මමත් පොරක් නෙවෙයි. නමුත් ලංකාවේ සුදුස්සාට සුදුසු තැන හිමිවෙනවද කියන ගැටලුව හැමතැනකදීම මතුවෙනවා. අනිත් එක උත්සවවල තියෙන උත්කර්ෂය නැවතත් රියැලිටියේ ක්ෂේත්‍රය තුළ තියෙනවද? එදා සම්මාන අරන් සතුටින් පින්තූරයක් අරන් ඉන්න මනුස්සයව පහුවදා පාන්දර හතරට එක්ක ගිහින් සමහරවෙලාවට උදේ කෑමවත් කන්න නොදී රූපගත කරන අවස්ථා තියෙනවා. ඕක තමයි ඇත්ත තත්ත්වේ. මම හැමදාම රියැලිටියේ හිටිය මනුස්සයෙක්.
ඒ කියන්නේ කලා ක්ෂේත්‍රය කියන්නේ ඉවසීමෙන් යා යුතු ගමනක්?
ඔව්. ලංකාවේ හරියට වැඩ කරන සහ දක්ෂකමට වටිනාකම ලැබෙන නළු නිළියෝ ඉන්නේ විස්සකට ආසන්න ප්‍රමාණයක්. මගේ තියෙන හැකියාවට වටිනාකමක් දෙන්න පුළුවන් මිනිස්සු මාව වැඩවලට ගන්නවා. මම ගරු කරනවා මට ගරු කරන මනුස්සයට. ජනාධිපති වුණත් මං ගරු කරන්නෙ නෑ මට ගරුසරුවක් නැතිනම්.
හර්ෂට හිතෙනවද ටෙලි නාට්‍ය කලාවේ නව පරම්පරාව නිසා ඔබට තිබුණු ස්ථානය අහිමි වෙලා කියලා?
කොහෙත්ම නෑ. එහෙමනම් අපි ක්ෂේත්‍රයට ආපු කාලේ පරණ අයට ප්‍රශ්නයක් වෙන්න තිබුණා. ඒ දේ සාපේක්ෂයි. ඇතැම් නළුවන් ප්‍රතික්ෂේප කළ නිර්මාණ මට ලැබිලා තියෙනවා. රොෂාන් රවීන්ද්‍රගේ චරිතම මට දෙක තුනක් ලැබිලා තියෙනවා. ඒක වුණේ රොෂාන්ට වඩා මම දක්ෂ නිසා නෙවෙයි. ඔහුට ගැලපෙන්නෙ නැති දෙයක් ප්‍රතික්ෂේප කරන්න රොෂාන්ට හොඳ කොන්දක් තියෙනවා. රොෂාන් කියන්නේ ප්‍රවීණයෙක්. ඒ නිසා දෙවෙනි අවස්ථාව විදිහට ඔහුගේ චරිත මට ලැබිලා තියෙනවා. රොෂාන් වගේ කෙනෙක් ප්‍රතික්ෂේප කළ චරිතයක් මට ලැබුණා කියන්නේ ඒක මට මාරම දෙයක්. සී රජ නාට්‍යයේ කාශ්‍යප කුමාරයගේ චරිතය, සූරිය කුසුමේ මාලින්දගේ චරිතය වගේ චරිත කිහිපයක්ම ඒ වගේ ලැබුණ ඒවා. ඒ වගේම මම ප්‍රතික්ෂේප කරන චරිත වෙන කෙනෙක්ට යනවා දෙවෙනි තේරීම විදිහට. ඔතන පරණ අලුත් කියලා දෙයක් නෑ. දක්ෂයාට සුදුසු තැනක් නැති දෙයක් කලාව ඇතුළේ තියෙන්නේ. අලුත් පැල පරණ ගස් වැල් වහගෙන වැවීගෙන එනකොට පරණ ගස් හැංගෙනවා.
හර්ෂගේ කැදැල්ලට අලුතින් එකතු වුණු පුංචි අමුත්තා ගැන විස්තර ටිකක් කියමුකෝ..
අපිට මේ පාරත් ලැබුණේ පුතෙක්. පොඩි පුතා ලැබුණේ පසුගිය නොවැම්බර් මාසේ. දැන් මාස පහයි. මේ ටිකේ රටේ පවතින තත්ත්වයත් එක්ක බිරිඳයි දරුවො දෙන්නයි ආරක්ෂිතව බිරිඳගේ මවගේ නිවසේ ඉන්නේ. මමත් එක එක වැඩවලට එහෙමෙහෙ ඇවිදින නිසා මං ගාව ඉන්න එක ආරක්ෂිත නෑ.
එරන්දි කෞශල්යා – Nine News