සුජානිගේත් මගෙත් ප්‍රේමය කොතනින් අවසන් වේවිද කියන්න බෑ

වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝමයක් දක්ෂ ප්‍රවීණ තරු බිහිවෙන්න මූලික වුණේ අතීතේ ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව තුළ බිහිවුණු උපරිම රසාස්වාදයක් ප්‍රේක්ෂකයාට ලබාදුන් විශිෂ්ඨ

මිතුරන් සමග ‌බෙදාගන්න

වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝමයක් දක්ෂ ප්‍රවීණ තරු බිහිවෙන්න මූලික වුණේ අතීතේ ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව තුළ බිහිවුණු උපරිම රසාස්වාදයක් ප්‍රේක්ෂකයාට ලබාදුන් විශිෂ්ඨ ගණයේ ටෙලියන්. ආනන්ද අබේනායකයන් අධ්‍යක්ෂණ්‍ය කළ රම්‍ය සුරම්‍ය කියන්නෙත් අන්න ඒ වගේ රසබර ටෙලි සිතුවමක්. අපි අද කතා කරන්න යන්නෙනම් රම්‍ය සුරම්‍ය ගැන නෙවේ. මීට වසර විසි එකක පමණ ඈත අතීතයේදී රම්‍ය සුරම්‍ය නිසා අපේ කලාවට ලැබුණු වටිනාම පුද්ගලයෙක් ගැන. ඔහු බිමල් ජයකොඩි.

පසුගිය කාලේ කොරෝනා වෛරසයේ ගොදුරක් වුණු බිමල් මේ දවස්වල නිරෝගීව කාලෙ ගත කරන හැටි වගේම කලාවේ රසබර විස්තර ටිකකුත් අපි එක්ක බෙදාගත්තේ මේ විදිහට.

‘’කලාව ගැන කතාකළොත් සම්බන්ධ වෙලා හිටපු නිර්මාණ කිහිපයකම රූගතකිරීම් ඉවර වුණා. විකාශනයත් ළඟදි අවසන් වෙනවා. මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන ආලියා නාට්‍යයේනම් තවම රූගත කිරීම් සිදු කෙරෙනවා. ඒ ඇරෙන්න මේ දවස්වල රටේ තියෙන තත්ත්වෙට අනුගත වෙලා ගෙදරට වෙලා ඉන්නවා.‘’

 බිමල් කියන්නේ අපිට කලාවෙන් ලැබුණු වටිනාම සම්පතක් වගේම කලාව නිසා බිමල්ට ලැබිලා තියෙන දේවලුත් බොහොමයි කියලා තමයි බිමල් අපිට කිව්වේ. ඒ අතරට ඔහුගේ සුන්දර බිරිඳත් ඇතුළත්..

‘’ජීවිතේ වෙනස් විදිහට දකින්න කලා රසය, සංස්කෘතිය සියලු දේ එකතු වුණු හොඳ ජීවිතයක් ලැබුණු එක තමයි කලාවෙන් ලැබුණු හොඳම දේ. මට ලැබුණු හැමදේම තිබුණේ ඒක ඇතුළේ. කඩඉම් විදිහට ගත්තොත් මගේ විවාහය. සුජානි මට මුණගැහුණෙත් මගේ පළවෙනි ටෙලි නාට්‍ය වුණ රම්‍ය සුරම්‍ය හරහා. වසර පහළවකට ආසන්න අපේ විවාහ ජීවිතය සාර්ථකයි. ඒ ආඩම්බරය මට තියෙනවා. ‍නළුවෙක් විදිහට මෑතකදී සිදුවුණු සංවේදී සිදුවීමක් මම ඔබට කියන්නම්. පිළියන්දල බස් නැවතුමේ අපි රූගත කිරීමක ඉන්නකොට මම දැක්කා වයසක පුද්ගලයෙක් බොහොම ආසාවෙන් රූගතකිරීම් දිහා බලන් හිටියා. පස්සෙ විවේක කාලයකදී ඔහු මට කතා කරලා කිව්වා ’මහත්තයා අවහල් නාලිකාවේ නේද මේක පටන්ගත්තේ? ඔය වගේ නාට්ටි තමයි ටීවීවල පෙන්නන්න ඕන’ කියලා. ඉතින් මමත් කරුණාවෙන් ඔහු එක්ක කතාබහ කරලා ආයේ සෙට් එකට ආවම ටික වෙලාවකින් ඔහු ලොකු බීම බෝතලයක් මට ගෙනල්ලා දුන්නා. ඒ අවස්ථාව මාව හරියට සංවේදී කළා. ඒක මම ආස වර්ගයේ බීම එකකුත් නෙවේ. නමුත් මම ඔහුටත් බීම බොන්න කියලා ආරාධනා කළාට නෑ මහත්තයෝ මම යන්න ඕන කියලා ඔහු ගියා. මම බලන් හිටියා ඔහු යන දිහා. බැලින්නම් ඔහු ලොතරැයි වෙළෙන්දෙක්. ලොතරැයි කූඩුවක්වත් නෑ. ලෑල්ල අතේ තියාගෙන වෙළෙඳාම් කරන පුද්ගලයෙක්. මම ඇහුවම තවත් වෙළෙන්දෙක්ගෙන් දෛනික ආදායම කියද කියලා ඔහු

කිව්වේ උපරිම රුපියල් පන්සීයක් වගේ වෙන්නේ කියලා. ඉතින් අර බීම බෝතලේම රුපියල් 250ක් විතර වෙනවා. මට එදා හිතුණා මට මොනවද කලාවෙන් ලැබෙන්නෙ නැත්තෙ කියලා. මට තවත් කලාවෙන් ලබාගන්න දේවල් ගැන හීන නැහැ’’

කලාකරුවෙක් ලෙස සිනමාවට ඇති දායකත්වය ගැනත් අපි අහලා බැලුවා.

‘’සිනමාවේ දකින ආශ්වාදය පුංචි තිරයේ නැතිව නෙවේ. නමුත් සිනමාවේ ආශ්වාදයට මම බෙහෙවින් ප්‍රිය කළා. ඒ වගේම මට සිනමාවෙන් බොහෝ අවස්ථා හිමිවුණා වගේම අහිමි වුණු අවස්ථාත් තියෙනවා. නමුත් තව බොහෝ කාලයක් වැඩ කරන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. තිරගත වෙන්න තියෙන චිත්‍රපටි අටක් විතර තියෙනවා එකිනෙකට වෙනස් චරිත නිරූපණය කළ. නමුත් ලෝකෙටම අවාසනාවන්ත මොහොතක් මේක. එවැනි රංගනයන් නරඹලා ඒ තුළින් ලැබෙන ප්‍රේක්ෂක ආදරය මම මුලින් සඳහන් කළ පුද්ගලයාගේ වගේ සංවේදී ආදරයක් ලබන්න තිබුණු අවස්ථා අපිට අහිමි වුණා කොරෝනා නිසා. ඒකට මුලින්ම අහුවුණේ සෝමරත්න දිසානායකයන්ගේ සුනාමි චිත්‍රපටය. ඊට අමතරව බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ කවුරුත් දන්නෙ නෑ සිනමාපටය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක ඉතාමත් සාර්ථකව තිරගත වුණා.‘’

වසර විස්සකට ආසන්න කාලයක් පුරා සපැමිණි කලා ගමනේ ඔහුටත් ඔහුගේම කියා නිර්මාණයක් එළිදක්වන්නටත් බලාපොරොත්තුවක් තිබෙන්නට ඇති.

‘’මගේ නිර්මාණයක් කරන එක කාලෙක ඉඳලා තිබුණ අදහසක්. මේ වෙනකොට පිටපත් හතරක් පහක්ම මාරු වුණා. එක පිටපතක් අරගෙන ඒක කරනවා කියලා හිතන් ඉන්නකොට අනිත් එක මීට වඩා හොඳයි කියලා හිතෙනවා. කාලයත් එක්ක වෙනස් වෙමින් ඇවිත් දැන් ඒක පැත්තකටම වෙලා. මගේ නිර්මාණයක් කරන්න මට හදිස්සියක් නෑ. රංගනය ගැන ආසාව ඉවර නෑනේ. අධ්‍යක්ෂණය කියන කාර්යයට එකතු කරගන්න මට තව ගොඩක් දේවල් තියෙනවා.’’

කලාව කියන්නේ දවසින් දවස විවිධාකාරයේ නළු නිළියන් බිහිවන තැනක්. ඒ අය අතරින් දක්ෂතාවයට වගේම පෙනුමට පමණක් අවස්ථා ලැබිලා තියෙන අයත් ඕනෑතරම් අපි දකිනවා. බිමල්ට වර්තමානයේ බිහි වන කලාකරුවන් සහ නව නිර්මාණයන් පිළිබඳව තියෙන්නේ මොන වගේ අදහසක්ද ?

‘’රංගනය කියන දේ නාඩියෙන්ම අල්ලගත යුතු දෙයක්. දැන් බිහි වෙන අලුත් පරපුරේ රංගනය හදාරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වන අයත් ඉන්නවා එදා දවස ශේප් වෙන්න මොකක්හරි කරලා දාන අයත් ඉන්නවා. ජනප්‍රියත්වය කොයි මොහොතේ නැති වේවිද කියන්න බැහැ. යම් ආයතන මට්ටමින් කරන සමහර නිර්මාණවල ඉන්නේ රංගනය ගැන කිසිම හැදෑරීමක් කරලා නැති නළු නිළියන් කියාගත්තු පිරිස්. නමුත් කොහොම බිහිවුණත් මේ කිසිම කෙනෙකුට රංගනය හදාරන්න බැරිකමක් නෑ. හැකියක් නැත්තෙ නෑනේ. මට ඔවුන්ට කියන්න තියෙන්නේ ඔවුන් සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕන. හැමෝම එක වගේ දක්ෂ නොවෙන්න පුළුවන්. නළුවෙකු, නිළියක තුළ තිබිය යුත්තේ එස්.එම්.එස් ගහපු පළියට මම ජනප්‍රියයි කියලා හිතන මානසිකත්වයක් නෙවේ. සමහර රඟපෑම් දැක්කම දුක හිතෙනවා. මොනවද මේ කරන්නෙ කියලා හිතෙනවා.  නමුත් උත්සාහය උනන්දුව තියෙනවනම් සමාජය කතාබහ කරන වැදගත් රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන්.’’

කලා ලෝකෙ හැබෑකරගන්න හීන ඕනම කලාකරුවෙකුට කලාකාරිණියකට තියෙන දෙයක්. බිමල් ජයකොඩිටත් කාලෙකට ඉහතදී එවැනි ආසාවල් තිබුණලු. ඒ ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් විදෙස් රටක ඇගයීමකට ලක්වීම. නමුත් ඔහු රඟපෑ චිත්‍රපටි විදෙස් රටවල තිරගත වෙද්දි ඔහු එහි රංගන ශිල්පියා ලෙස ඒ අවස්ථාවට සහභාගී වනවිට ඇගයීමට ලක්වනවාට වඩා කළ යුතු බොහෝ දේ ඇතැයි කියලා ඔහුට හිතුණලු.

‘’ලෝකෙ රවුමක් ගහලා එනකොට ඒක නිකම්ම නිකන් සංචාරයක් නොවී අපිට දැනෙන්න ඕන අනිත් රටවල් එක්ක බලනකොට විෂයෙන් අපි කොතනද ඉන්නෙ කියන එක. ඒත් එක්කම මට හිතුණ දෙයක් තමයි කලාව තුළ ලබාගන්නවනම් හොඳම ඉලක්කය රංගනය සියුම්ව ඉදිරිපත් කරන්නේ කොහොමද කියන දේ ඉගෙනගැනීම. මට ලෝකෙ රංගන ශිල්පියෝ කළ හැම චරිතයක්ම කරන්න පුළුවනම්කමක් නෑ. දැන් මම හිතන්නේ මේ හැම චරිතයක්ම කරන්න පුළුවන් කලාකාරයෙක් වෙන්නේ කොහොමද කියන එක.’’

කලා ලෝකෙ අති සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න ශක්තියක් වුණු බිමල්ගේ ආදරණීය බිරිඳ සුජානි මේනකා එක්ක ගත කරන කාලය මොනවගේද කියලා..

‘’සුජානි එක්ක ගෙවන ජීවිතේ හරිම සැහැල්ලුයි. එක්තරා වෙලාවකදී සාම්ප්‍රදායික සහ එක්තරා වෙලාවකදී සාමාන්‍ය විදිහට ගෙවෙන පවුල් ජීවිතයක් අපි දෙන්නට තියෙන්නේ. එකිනෙකාට ගෞරව කරමින් ගෙනියන විවාහ ජීවිතයක් මේක. දවසින් දවස ඇය ගැන මට තියෙන ආදරේ අලුත් වෙනවා. ඇය මං වෙනුවෙන් වෙහෙසෙනවා දකිනකොට ඇය කෙරෙහි ආදරේ වැඩි වෙනවා. විශේෂයෙන්ම මට මතක් වෙනවා මට කොවිඩ් ආසාදනය වුණ කාලේ මාව ගෙදරින් ගෙනියනකොට ඇගේ මූණ මම දැක්කා. මම ඇයව දාලා ගිලන් රථයේ යන මොහොතෙදි මට හිතුණා හදිසියේවත් මගේ ජීවිතේට මොනවහරි වුණොත් මම සුජානිව දැක්ක අන්තිම වෙලාව නේද මේ කියලා. ඒක සෘණාත්මක ආකල්පයක් නෙවේ. නමුත් මේ ව්‍යසනයේ තත්ත්වය එයයි. ආයෙ මට කල්පනා වුණා මගේ අතින් ඇයට වුණ අඩුපාඩු මොනවද? මම ඇයට තව මොනවද කරන්න ඕන වගේ දේවල්. ජීවිතේ ආදරණීයයන්ට කළ යුතු දේවල් පස්සට දාන්න එපා. පුළුවන් මොහොතේ කරන්න. ආදරේ කරනවනම් අදම කරන්න. එදා සුජානි මගේ දිහා බලන් හිටපු විදිහ මාව හරිම සංවේදී කළා. අපේ ආදරේ කොහෙන් කොහොම ඉවර වෙයිද කියලා අපි දන්නෑ. හැබැයි ආදරේ කරන්න පුළුවන් කාලේ උපරිම ආදරේ කරන්න ඕනේ.’’

එරන්දි කෞශල්යා – Nine News

තවත් පුවත්