ලෝක බැංකුව පවසන්නේ පසුගිය වසර 11ක කාලය තුළ ඉන්දියාව අන්ත දුගීභාවයෙන් පෙළෙන ජනතාව මිලියන 344 සිට මිලියන 75 දක්වා අඩු කර ඇති බවයි. එයින් අදහස් වන්නේ ඉන්දියාව මිලියන 269ක ජනතාවක් අන්ත දුගීභාවයෙන් සාර්ථකව මුදවා ගෙන ඇති බවයි.
ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව, 2022-23 වසර තුළ ඉන්දියාවේ දුගී අනුපාතය සියයට 5.3 දක්වා පහළ බැස තිබෙනවා. 2011-12 වසරවලදී මෙම අනුපාතය සියයට 27.1ක් ලෙස සටහන් වී තිබීමෙන් මෙම ප්‍රගතියේ විශාලත්වය පැහැදිලි වේ.
දත්තයන්ට අනුව, 2011-12 වසරේදී උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, බිහාර්, බටහිර බෙංගාලය සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්තවල ඉන්දියාවේ අන්ත දුගීභාවයෙන් පෙළෙන ජනතාවගෙන් සියයට 65ක් නියෝජනය කර තිබුණා. නමුත්, 2022-23 වන විට මෙම ප්‍රාන්තවල වැඩි පිරිසක් අන්ත දුගීභාවයෙන් මුදවා ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබී ඇත.
මෙම කාල සීමාව තුළදී ඉන්දීය ග්‍රාමීය ප්‍රදේශවල අන්ත දුගීභාවය සියයට 18.4 සිට සියයට 2.8 දක්වාත්, නාගරික ප්‍රදේශවල අන්ත දුගීභාවය සියයට 10.7 සිට සියයට 1.1 දක්වාත් කැපී පෙනෙන ලෙස පහළ වැටී තිබෙන බව ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඉන්දීය රජයේ ක්‍රියාත්මක කළ අවාස් යෝජනා (නිවාස), උජ්වාලා යෝජනා (ආහාර පිසීම සඳහා පිරිසිඳු ඉන්ධන), ජන් ධන් යෝජනා (මූල්‍ය අන්තර්ග්‍රහණය) සහ ආයුෂ්මාන් භාරත් (සෞඛ්‍ය ප්‍රවේශය) ඇතුළු විවිධ වැඩසටහන් මෙම දුගීභාවය අඩු කිරීම සඳහා සෘජුවම දායක වී ඇත.
ඊට අමතරව, ඩී.බී.ටී. (Direct Benefit Transfer) වැනි ඩිජිටල් පද්ධති, ඩිජිටල් සේවා පුළුල් කිරීම සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ද දුගී ජනතාවට සහන සැලසීමට ප්‍රබල ලෙස ඉවහල් වී තිබෙනවා.
ඉන්දියාවේ මෙම සාර්ථකත්වය, දුගීභාවය පිටුදැකීම සඳහා ආදර්ශයක් ලෙස ලෝකයේ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ද සැලකිය හැකිය.