වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා දින 11ක් සිය ජීවිතය වෙනුවෙන් සටන් කළ භාතිය හස්තියා ඊයේ (ජූලි 15) පෙරවරුවේ මහව – පොල්පිතිගම වතුර වළකදී අවසන් හුස්ම හෙළා තිබෙනවා. මෙම ශෝකජනක සිදුවීමත් සමඟ, භාතිය හස්තියාගේ දළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට තීරණය කර ඇත.
කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් සති දෙකකට පමණ ඉහතදී භාතිය හස්තියාට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඔහුගේ පාදවලට සහ ශරීරයට බරපතළ තුවාල සිදුව තිබුණා. ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව, වනජීවී නිලධාරීන් මෙන්ම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ විශේෂඥයින් ද කඩිනමින් පැමිණ භාතියට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා.
පෙරේදා පස්වරුව වන විට භාතිය වැතිරී සිටි ඇළය වෙනස් කිරීමට පශු වෛද්‍යවරුන් පියවර ගත්තේ, සත්ත්වයාගේ සෞඛ්‍ය මට්ටමේ යම් යහපත් බවක් නිරීක්ෂණය වීම හේතුවෙනි. එහෙත්, සියලු උත්සාහයන් අභිබවමින් භාතිය හස්තියා ඊයේ පෙරවරු 8.26 පමණ වන විට ජීවිතක්ෂයට පත් විය.
භාතියගේ මරණයෙන් පසුව, ඔහුගේ සිරුර මනා ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක භූමදානය කිරීමටත්, එම සද්දන්තයාගේ හිස කඳින් වෙන් කර ආරක්ෂිත ස්ථානයක වළ දමා පසුව ඇත් දළ වෙන් කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදීමටත් අධිකරණය නියෝග කර ඇත.
හස්තියාගේ මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලෙන් සිදු කෙරුණා. මෙම සිදුවීමෙන් වනජීවීන්ට එරෙහි අපරාධවල භයානකත්වය යළිත් වරක් ඉස්මතු වී ඇත.