ට්‍රැක්ටර් යන්ත්‍ර ආශ්‍රිතව සිදුකරන මාදැල් කර්මාන්තයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස බලකරමින් ආරම්භ කළ ධීවර උපවාසය අද (10) හයවන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මෙම සත්‍යග්‍රහය පිළිබඳව සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් ඩිල්රුක් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වීය.
ධීවරයින් විසින් මෙතෙක් පවත්වාගෙන ගිය අධිකරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත්තේ රජයෙන් ලැබුණු යම් පොරොන්දුවක් මත බව ලේකම්වරයා හෙළි කළේය.
නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පසු සහනදායී විසඳුමක් ලබා දෙන බවට ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය මත ධීවරයින් නඩුව ඉවත් කර ගෙන ඇත. නඩුව ඉවත් කර ගත්තද, ආණ්ඩුවෙන් ප්‍රායෝගික සහ යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් සත්‍යග්‍රහය අත්නොහරින බව ධීවරයෝ අවධාරණය කරති.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් වෙළඳපොළේ මත්ස්‍ය මිල ඉහළ යා හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් වී තිබේ.
“මාදැල් ධීවරයින් මුහුදු නොගොස් උපවාසයේ යෙදී සිටීම නිසා මේ වන විටත් මාළු මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා.” – ඩිල්රුක් ප්‍රනාන්දු (ලේකම් – සමස්ත ලංකා මාදැල් සංගමය)
මෙම ගැටලුවේ මූලිකම හේතුව වී ඇත්තේ ට්‍රැක්ටර් යන්ත්‍රවලට සවි කරන ලද වින්ච් (Winch) යන්ත්‍ර මගින් මාදැල් ඇදීම තහනම් කර තිබීමයි. එම තහනම ඉවත් කර තම සාම්ප්‍රදායික කර්මාන්තයට නවීන තාක්ෂණය භාවිත කිරීමට ඉඩ දෙන ලෙස ධීවරයෝ දිගින් දිගටම ඉල්ලා සිටිති.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මාදැල් කර්මාන්තයට සම්බන්ධ විශාල පිරිසක් මේ වන විටත් කොළඹදී මෙම සත්‍යග්‍රහයට එක්වෙමින් සිටිති.