පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඔහුගේ රථය කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ 16 හැවිරිදි සැකකරුවෙකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි මෙම නව යොවුන් වියේ සැකකරු සිය නිවසේ රැඳී සිටියදී පොලිස් දැලට හසු වී ඇති අතර, ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට හඳුනාගෙන ඇත.
මෙම ඛේදවාචකයට ගොදුරු වී ඇත්තේ අබ්දුල් ලතීෆ් නැමැති 75 හැවිරිදි පියාණන් කෙනෙකි. පසුගිය 21 වනදා රාත්‍රී 9.30ට පමණ මෙම සැකකරු විසින් ලබාගත් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය රියදුරු මහතා පසුව අතුරුදන් වී තිබූ අතර, ඊයේ (22) උදෑසන අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක තිබී ඔහුගේ සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ මුදල් සහ ත්‍රිරෝද රථය කොල්ලකෑමේ අරමුණින් රියදුරුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකළ බවයි. රියදුරු ඝාතනය කිරීමෙන් පසු රථය පැහැරගෙන ගිය සැකකරු, පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් අසල එය දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
මත්ද්‍රව්‍ය සඳහා මුදල් සොයා ගැනීමට උත්සාහ කළ තරුණයෙකුගේ දරුණු ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.