පෘතුගීසි පාලන සමයේදී මෙරටින් රැගෙන ගිය පෞරාණික සහ ඓතිහාසික වටිනාකම් සහිත දෑ නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මූලික අධ්‍යයනයක් සිදුකිරීමට පෘතුගාල රජයේ එකඟතාව හිමිව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට සංචාරයක නිරත පෘතුගාල විදේශ අමාත්‍ය පාවුලෝ රේන්ජල් (Paulo Rangel) මහතා අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති නිල සාකච්ඡාවකදී මෙම තීරණාත්මක එකඟතාවට එළඹ ඇත.
ශ්‍රී ලංකාව සතු එම ඓතිහාසික උරුමයන් යළි මෙරටට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාව පිළිගත හැකි සාධාරණ ඉල්ලීමක් බව පෘතුගාල විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, දෙරට අතර දැනට පවතින සංස්කෘතික ගිවිසුම බලාත්මක කරමින්, අදාළ කටයුතු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දෙරටේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් කඩිනමින් පිහිටුවීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකිකයන්ට පෘතුගාල වීසා ලබාගැනීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. දැනට පවතින ක්‍රමවේදය අනුව නවදිල්ලියට යාමට සිදුවීමෙන් පැන නැගී ඇති අපහසුතා මගහරවා ගැනීම සඳහා සහනදායී යාන්ත්‍රණයක් සකස් කරන ලෙස විජිත හේරත් මහතා කළ ඉල්ලීමට පෘතුගාල අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර හිමි වූ අතර, ඒ පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදීමට ද ඔහු පොරොන්දු විය.