ඉඩම් අයිතිය ජනතාවට පවරන ‘හිමිකම’ ජාතික වැඩසටහන අද ඇරඹෙයි

රජයේ අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ඉඩම් භුක්ති විඳින ජනතාවට එම ඉඩම්වල පූර්ණ අයිතිය ලබාදෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක

මිතුරන් සමග බෙදාගන්න

රජයේ අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ඉඩම් භුක්ති විඳින ජනතාවට එම ඉඩම්වල පූර්ණ අයිතිය ලබාදෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) අනුරාධපුරයේදී පැවැත්වේ.

උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම සමාරම්භක උළෙලේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500 දෙනෙකු වෙත නිදහස් ප්‍රදාන පත්‍ර පිරිනැමීමට නියමිතය.

වසර ගණනාවක් පුරා ඉඩම් සංවර්ධනය කළ ද එහි පරම අයිතිය නොමැතිකමින් ගොවි ජනතාව මුහුණ දුන් ගැටලුවලට විසඳුම් ලබාදෙමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන, ඉදිරියේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ හරහා මෙතෙක් පැවති ඉඩම් ගැටලු රැසකට ස්ථිර විසඳුම් ලැබෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (26) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ලේකම්වරයා මේ බව අවධාරණය කළේය.

ආපදා කළමනාකරණයට සම්බන්ධ සියලුම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ලේකම්වරයා, වන්දි මුදල් හා දීමනා ගෙවීම් කඩිනමින් අවසන් කරන ලෙසත්, දීමනා නොලැබුණු පුද්ගලයන්ගේ අභියාචනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් දැනුම් දී ඇත. සහන සැලසීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස සිදුවිය යුතු බව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්