ශ්‍රී ලංකාවේ පවතින බදු රාමුව වඩාත් පුළුල් කරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නව යෝජනා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නීතියක් බවට පත්වීමෙන් අනතුරුව ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම කෙටුම්පතේ වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ ප්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) ඉහළ නැංවීමට ගෙන ඇති තීරණයයි. ඒ අනුව, ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභය මත පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා දැනට පවතින 10%ක බද්ද 15% දක්වා ඉහළ යනු ඇත.
වඩාත් විශේෂිතව, ඒකක භාර (Unit trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා මෙම බද්ද 10% සිට 30% දක්වා තුන් ගුණයකින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
නව සංශෝධන යටතේ රඳවා ගැනීමේ බදු (Withholding Tax) ජාලය ද පුළුල් කර ඇති අතර, 5%ක බදු කපා හැරීමේ ලැයිස්තුවට නව වෘත්තිකයන් රැසක් ඇතුළත් කර ඇත. ඒ අනුව මින් ඉදිරියට විගණකවරුන්, තක්සේරුකරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් පමණක් නොව, සමාජ මාධ්‍ය විශේෂඥයින් (Social Media Specialists), සන්නාම තානාපතිවරුන් (Brand Ambassadors) සහ නිදහස් වෘත්තිකයන්ට (Freelancers) සිදු කරන ගෙවීම්වලින් ද 5%ක බද්දක් කපාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැර කිරීමට නියමිතය.
බදු ගෙවන්නන්ට සහනයක් ලෙස, 2023 මාර්තු 31 දක්වා ගෙවා නොමැති බදු සඳහා එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය පැවරේ. එහෙත් එම සහනය හිමිවන්නේ නව නීතිය ක්‍රියාත්මක වී මාස 6ක් ඇතුළත අදාළ මූලික බදු මුදල සහ දඩ මුදල් සම්පූර්ණයෙන් පියවන්නේ නම් පමණි.
මීට අමතරව, 2026 අප්‍රේල් මාසයේ සිට ඇස්තමේන්තුගත බදු ප්‍රකාශ (SET) ගොනු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කර බදු ක්‍රියාවලිය සරල කිරීමට ද රජය පියවර ගෙන තිබේ.