ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ගිලී ගොස් ඇති බව වාර්තා වේ. මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් දියත් කළ ශ්‍රී ලංකා නාවික හමුදාව, මේ වන විට පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව තහවුරු කරයි.
ඉන්දියාවේ විශාකාපට්නම්හි පැවති ජාත්‍යන්තර නාවික අභ්‍යාසයකට සහභාගී වී යළි ඉරානය බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇත. ඇමෙරිකානු සබ්මැරීනයක සිට නිකුත් කළ ටෝපිඩෝ (Torpedo) ප්‍රහාරයකින් නෞකාව මුහුදුබත් වූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව සතුරු නෞකාවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමූ ලොව පළමු අවස්ථාව මෙය වන බවයි. “අපි සටන් කරන්නේ දිනන්නයි. කිසිදු සමාවකින් තොරව විනාශකාරී ලෙස ඇමෙරිකාව ජයග්‍රහණය කරනවා,” යැයි පවසමින් ඔහු මෙම ප්‍රහාරය සාධාරණීකරණය කර ඇත.
ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ. මේ අතර, ඉතිරි පිරිස සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.