සිරස්තල
නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩමවූ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා, ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර හෙට (10) සිට විවෘත කිරීමට

මිතුරන් සමග බෙදාගන්න

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩමවූ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා, ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර හෙට (10) සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇත. කොළඹ ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේදී මෙම විවෘත කිරීම සිදු කෙරෙන අතර, අනිද්දා (11) සිට මහජනතාවට හස්තියාගේ අනුරුව දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි මහතා සඳහන් කළේය.

ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලිය ලත් නැදුන්ගමුවේ විජය රාජා හස්තියා, 13 වතාවක් දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිකර ගත්තේය. කොපමණ දුරක් වුවද පාගමනින්ම ගමන් කිරීමට ප්‍රිය කළ මෙම හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරක්ෂාව පවා සැපයීමට රජය පියවර ගෙන තිබුණි. 2022 වසරේ මාර්තු 07 වැනිදා දිවිසැරිය නිමා කළ රාජාගේ ආගමික සහ සංස්කෘතික වටිනාකම මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ විය.

හස්තියාගේ අභාවයෙන් පසු දින 14ක් ඇතුළත ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ චර්ම විශේෂඥයින් කණ්ඩායමක් විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව හස්තියාගේ චර්මය සහ දළ යුගලය ඉවත් කර සංරක්ෂණය කරන ලදී. ඒ අනුව, දැනට මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙන “රාජා” හස්තියාගේ අනුරුව මෙන්ම, නැදුන්ගමුවේ රාජාගේ අනුරුව ද ඉතාමත් ජීවමාන අයුරින් නිර්මාණය කිරීමට චර්ම ශිල්පීහු සමත්ව සිටිති.

මෙම සුවිශේෂී සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා විශ්‍රාමික ප්‍රධාන චර්ම ශිල්පී චමල්කා කොතලාවල මහත්මිය ඇතුළු කණ්ඩායම සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. හෙට දින සිට මෙම ජාතික උරුමය කොළඹදී දැකබලා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්