පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම බදාදා දිනකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය.
සතියේ මැද දිනයක් වන බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස තෝරා ගැනීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. සිකුරාදා දිනය නිවාඩු ලබා දී දීර්ඝ සති අන්තයක් ලබා දීමට මුලින් අදහස් කළ ද, එමගින් රාජ්‍ය පාලනයට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බාධා එල්ල විය හැකි බැවින් එම විකල්පය ඉවත් කළ බව ඔහු සඳහන් කළේය.
බදාදා දිනය නිවාඩු ලබා දීමෙන් රජයේ කාර්යාල පද්ධතිය සඳුදා-අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා-සිකුරාදා ලෙස කොටස් දෙකකට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ. මේ හරහා මහජන සේවාවන් සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම වළක්වා ගනිමින්, සේවා සැපයීම වඩාත් විධිමත් ලෙස කළමනාකරණය කළ හැකි බව රජයේ විශ්වාසයයි.
මැදපෙරදිග කලාපීය යුධමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන ආනයනයට එල්ල වී ඇති බාධා හමුවේ, පවතින සීමිත ඉන්ධන තොග අරපිරිමැස්මෙන් භාවිත කිරීම රජයේ මූලික අරමුණ වී ඇත. ඉදිරි කාලය තුළ ඇති විය හැකි ඕනෑම අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශයේ ඉන්ධන පාරිභෝජනය සීමා කිරීමට මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.