මීට පෙර වෙනත් පුද්ගලයෙකුගේ හෝ භාවිතයේ නොමැති ජංගම දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි කර තිබූ වාහන සඳහා, හිමිකරුගේ නව දුරකථන අංකය යටතේ ඉන්ධන QR කේතය ලබාගැනීමේ නව ක්‍රමවේදයක් අද (19) සිට ක්‍රියාත්මක වේ. 2026 මාර්තු 14 දිනට පෙර ලියාපදිංචි කරන ලද වාහන සම්බන්ධයෙන් මහජනතාව මුහුණ දුන් ගැටලු විසඳීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.
මෙම නව විශේෂාංගය හරහා, පැරණි දුරකථන අංකය වෙත ප්‍රවේශයක් නොමැති වුවද, වාහන හිමිකරුට තම වාහනයේ අනන්‍යතාව තහවුරු කරමින් නව ලියාපදිංචියක් සිදු කළ හැකිය. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මෙසේය:
අනන්‍යතාව තහවුරු කිරීම: වාහන අංකය සහ චැසි අංකය (Chassis Number) නිවැරදිව පද්ධතියට ඇතුළත් කළ යුතුය.
පවතින ගිණුම අවලංගු කිරීම (Override): වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ ලියාපදිංචි වී ඇත්නම්, ‘Override’ විකල්පය තෝරාගැනීමෙන් එම පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් කළ හැකිය.
නව ලියාපදිංචිය: පැරණි තොරතුරු ඉවත් වූ වහාම ඔබගේ නව දුරකථන අංකය යටතේ නව QR කේතයක් සක්‍රිය කර ගැනීමට අවස්ථාව ලැබේ.
මෙම ක්‍රියාවලිය හරහා පෙර ලියාපදිංචි කළ පරිශීලකයාට එම වාහනය වෙනුවෙන් ලැබුණු සියලු වරප්‍රසාද සහ ප්රවේශයන් අහිමි වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එමෙන්ම, තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති වෙනත් අයෙකුගේ වාහනයක දත්ත මෙලෙස පද්ධතියෙන් ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
[Image: Step-by-step guide on using the ‘Override’ option in the National Fuel Pass portal]
මෙම පහසුකම මගින් මෙතෙක් කාලයක් වෙනත් පාර්ශ්වයන් සතුව හෝ අක්‍රිය දුරකථන අංක යටතේ සිරවී තිබූ වාහන දත්ත නිවැරදි හිමිකරු සතු කර ගැනීමටත්, බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමටත් මග පෑදෙනු ඇත.