අනුරාධපුර, මරදන්කඩවල ප්‍රදේශයේ හිනුක්කිරියාව වැවේ දිය නෑමට ගිය කුඩා දැරියක් ඊයේ (19) දහවල් කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මරදන්කඩවල පොලීසිය පවසන්නේ ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි වියේ පසු වූ දැරියක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි.
මෙම සෝචනීය අනතුර සිදුව ඇත්තේ දැරිය සිය මිත්තණිය සමඟ වැවේ දිය නාමින් සිටි අවස්ථාවේදීය. එක්වරම පැමිණි කිඹුලෙකු දැරිය ඩැහැගෙන වැව දෙසට ඇදගෙන ගොස් ඇති අතර, ඒ සමඟම ප්‍රදේශවාසීන්, පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව දැරිය සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පිරිස වැවට බැස දැරිය සෙවීමේදී, එල්ල වූ බාධා හමුවේ කිඹුලා දැරිය අතහැර දමා පලා ගොස් තිබේ. වහාම ක්‍රියාත්මක වූ පිරිස දැරිය වැවෙන් ගොඩගෙන මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ වැව් ආශ්‍රිතව වෙසෙන ජනතාව දැඩි බියට පත්ව සිටින අතර, කිඹුල් තර්ජන පවතින ස්ථාන පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස වනජීවී නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.