හලාවත – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් තරුණ කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (23) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කරවිටිගාරය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි වියේ පසු වූ මවකි.
අනතුර සිදුවන අවස්ථාවේදී ඇය සිය පුත්‍රයා සමඟ යතුරුපැදියෙන් කුරුණෑගල දෙසට ධාවනය වෙමින් සිට ඇත. කොක්කවිල හන්දියෙන් දකුණු දෙසට යතුරුපැදිය හැරවීමට උත්සාහ කිරීමේදී, පසුපසින් එම දිශාවටම වේගයෙන් පැමිණි ලොරි රථයක් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි විය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ ඇයගේ පුත්‍රයා වහාම හලාවත මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන විටත් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ පුත්‍රයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය අනතුරට හේතු වී ඇත්ද යන්න පිළිබඳව හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.