දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශ බොහොමයක ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
අද අලුයම් කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවට ද අනාවැකි පළ කර ඇත. ඒ අනුව පහත පළාත් සහ දිස්ත්‍රික්කවල රියදුරන් සහ මහජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ,
මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්.
කුරුණෑගල, වව්නියාව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වීම වැදගත් වේ.