ගණේමුල්ල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී, සැකකටයුතු ලෙස ගමන් කළ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 470ක් සහ හෙරොයින් ග්‍රෑම් 230ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ ගණනාවක් වන බව විමර්ශන අංශ පවසයි.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා 25 සහ 26 යන වයස්වල පසුවන බොල්ලත සහ ගණේමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද යන්න පිළිබඳව පොලිසිය දැඩි අවධානය යොමු කර ඇත.
ගණේමුල්ල පොලිසිය විසින් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.