විදේශ රටවල සැඟව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුම් යටතේ පසුගිය වසර තුන තුළ දරුණු ගණයේ සැකකරුවන් 30 දෙනෙකු දිවයිනට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. අද (30) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ අද දින මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මධුසංක හෙවත් “මිදිගම චූටි” නමැති සැකකරු ද ඊට ඇතුළත් වේ. මිනීමැරුම්, අවි ජාවාරම්, මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ මුදල් ජාවාරම් ඇතුළු බරපතළ චෝදනා රැසකට මොහු වරදකරුවෙකු වී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීම හේතුවෙන් ජාත්‍යන්තර පොලිසියේ “රතු නිවේදන” (Red Notices) නොමැතිව වුවද සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව පුද්ගලයින් 13 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන ඇති අතර, පසුගිය 28 වනදා ඉන්දියාවේ සිට රැගෙන ආ සැකකරුවන් දෙදෙනා ද ඊට අයත් බව වුට්ලර් මහතා සඳහන් කළේය. මේ වන විට තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 88 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇත.
ඉදිරි පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් දිවයින පුරා පල්ලිවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ බුද්ධි නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද විශාල පිරිසක් යෙදවීමට පියවර ගෙන තිබේ.
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 44,000කට අධික ප්‍රමාණයක් ඇතුළුව පෙට්‍රල් සහ භූමිතෙල් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. එහිදී සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව, ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ උපන්දින සාදයට සහභාගී වූ ස්ථානාධිපතිවරයාට එරෙහිව ද දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.