දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත මෙම උපදෙස් යොමු කර ඇත.
පවතින උණුසුම් තත්ත්වය මත සිසුන්ට ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එම නිවේදනයේ සවිස්තරාත්මකව දක්වා තිබේ.
අධික රස්නය හේතුවෙන් ප්‍රධාන වශයෙන් තත්ත්වයන් තුනක් ඇතිවිය හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි:
මස්පිඬු පෙරලීම (Heat Cramps): දහදිය දැමීම නිසා විජලනය වී අත් පා හෝ උදරයේ මස්පිඬු වේදනාව ඇතිවීම. මෙවැනි විටෙක සිසිල් ස්ථානයක විවේක ගනිමින් සෑම විනාඩි 15කට වරක්ම ජලය වීදුරු භාගය බැගින් පානය කළ යුතුය.
අධික මහන්සිය (Heat Exhaustion): අධික ලෙස දහදිය දැමීම, ක්ලාන්තය සහ අප්‍රාණික බව මෙහි ලක්ෂණයි. මෙහිදී ද සිසිල් ස්ථානයක විවේකය, ජලය පානය සහ ශරීරය තෙත මාත්තු කිරීම හෝ ස්නානය කිරීම කළ යුතුය.
ආඝාත තත්ත්වය (Heat Stroke): මෙය වඩාත් දරුණු තත්ත්වයකි. ශරීර උෂ්ණත්වය සහ නාඩි වේගය අධික ලෙස වැඩිවීම, සිහිමද ගතිය, වලිප්පුව හෝ සිහිසුන් වීම මෙහිදී සිදුවේ. එවැනි අවස්ථාවක වහාම 1990 සුවසැරිය හෝ ළඟම රෝහලේ ගිලන් රථ සේවාව අමතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.
උෂ්ණත්වය අධික දිනවල සිසුන් එළිමහන් ක්‍රීඩා හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. විශේෂයෙන්ම:
-
විවේක කාලයේදී දැඩි හිරු එළියට නිරාවරණය වීම වැළැක්විය යුතුය.
-
ජලය පානය සඳහා අමතර කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසුය.
-
පන්ති කාමරවල දොර ජනෙල් විවෘතව තබා වාතාශ්‍රය හොඳින් ලැබීමට සැලැස්විය යුතුය.
-
ටකරන් වහල සහිත හෝ අධික රස්නය සහිත කාමර පවතී නම්, සිසුන් තාවකාලිකව වෙනත් ස්ථානයකට මාරු කළ යුතුය.
සිසුන්ගේ පහසුව සඳහා නිල ඇඳුමට අදාළ ලිහිල් කිරීම් කිහිපයක් ද යෝජනා කර ඇත. ඒ අනුව, අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය (Necktie) නොපැළඳීම හෝ එහි ගැටය ලිහිල් කර තැබීමට අවසර හිමිවේ. බඳ පටි පැළඳීම ද හැකිතාක් අවම කළ යුතුය.
සිසුන් එළිමහනට යන විට කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කිරීම, තද වර්ණ වෙනුවට ලා පැහැති කපු ඇඳුම් ඇඳීම සහ නිවසින් පිටවන සෑම විටකම උණුකර නිවාගත් ජලය සහිත වතුර බෝතලයක් රැගෙන යාම අනිවාර්ය වේ. ජලය වෙනුවට තැඹිලි හෝ කුරුම්බා වැනි ස්වභාවික පාන වර්ග භාවිතය සුදුසු වුවත්, සීනි අධික පැණි බීම භාවිත නොකරන ලෙස ද අමාත්‍යාංශය අවධාරණය කරයි.