සිරස්තල

අවුරුදු සමයේ සයිබර් වංචා ඉහළට

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා

මිතුරන් සමග බෙදාගන්න

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවට විශේෂ දැනුම්දීමක් කරයි. උත්සව සමයේ පවතින මහජන විශ්වාසය අවභාවිත කරමින් සයිබර් අපරාධකරුවන් විවිධ උපක්‍රම හරහා මුදල් සහ පුද්ගලික දත්ත සොරාගැනීමේ ප්‍රවණතාවක් පවතින බව එම සංසදය පෙන්වා දෙයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු, ප්‍රසිද්ධ වෙළඳ ආයතන සහ බැංකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ.

අපරාධකරුවන් විසින් මහජනතාව නොමඟ යැවීම සඳහා දැනට භාවිත කරන ප්‍රධාන ක්‍රම කිහිපයක් හඳුනාගෙන ඇත:

ආකර්ෂණීය පණිවිඩ: ව්‍යාජ දීමනා, සුවිශේෂී වට්ටම්, මුදල් ත්‍යාග හෝ තෑගි ලැබී ඇති බව පවසමින් SMS සහ සමාජ මාධ්‍ය හරහා පණිවිඩ එවනු ලබයි.

වංචනික සබැඳි (Phishing Links): අදාළ ත්‍යාග ලබාගැනීම සඳහා සබැඳියක් මත ක්ලික් කර පුද්ගලික තොරතුරු හෝ බැංකු විස්තර ලබාදෙන ලෙස ඉල්ලා සිටී.

ඡායාරූප අවභාවිතය: සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන “අවුරුදු කුමාරි” වැනි ව්‍යාජ තරග මඟින් ඡායාරූප ලබාගෙන ඒවා අනිසි ලෙස භාවිත කිරීමේ උත්සාහයන් ද වාර්තා වී ඇත.

ඔබේ බැංකු ගිණුම්වල ඇති මුදල් සහ පුද්ගලික දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා CERT ආයතනය විසින් පහත උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටී,

සැක සහිත සබැඳි: නොදන්නා පාර්ශවයන්ගෙන් ලැබෙන හෝ සැක සහිත බව හැඟෙන කිසිදු Link එකක් මත ක්ලික් නොකරන්න.

සංවේදී දත්ත: ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් අංක හෝ වෙනත් රහස්‍ය තොරතුරු සහ ඡායාරූප කිසිවෙකු සමඟ බෙදා නොගන්න.

OTP රහස්‍යභාවය: බැංකු ගනුදෙනු සඳහා ලැබෙන OTP (One Time Password) අංකය කිසිදු හේතුවක් මත වෙනත් පුද්ගලයෙකුට ලබා නොදෙන්න.

කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ විශ්වාසනීය පෞද්ගලික ආයතනයක් කිසිවිටෙකත් දුරකථන පණිවිඩ හෝ සමාජ මාධ්‍ය හරහා ඔබගේ රහස්‍ය තොරතුරු ඉල්ලා සිටින්නේ නැත. උත්සව සමයේ ලැබෙන දීමනා හෝ තෑගි පිළිබඳ තොරතුරු ලැබුණහොත්, අදාළ ආයතනයේ නිල වෙබ් අඩවිය හෝ නිල දුරකථන අංක ඔස්සේ එහි සත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරන්න.

වෙනත් පුවත්

උණුසුම් පුවත්