මන්නාරම, වංගාලපාඩුව මුහුදු ප්රදේශයේදී අද (15) අලුයම සිදුවූ දරුණු නාවික අනතුරකින් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ධීවර යාත්රා දෙකක් එකිනෙක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී යාත්රා දෙකටම දැඩි හානි සිදුව ඇති අතර, එක් ධීවරයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබුණි. පසුව ප්රදේශයේ සෙසු ධීවරයින් විසින් දියත් කළ දැඩි සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ මළසිරුර සොයාගෙන ඇත.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ තවත් ධීවරයෙකු කඩිනමින් මන්නාරම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අනතුරට හේතුව යාත්රා මෙහෙයවීමේදී සිදුවූ දෝෂයක් ද නැතහොත් අයහපත් මුහුදු තත්ත්වය ද යන්න පිළිබඳව කරුණු සොයා බලමින් පවතී.