රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (21) නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීම සහ වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
හිටපු මන්ත්‍රීවරයා සිය පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇත.
වාර්තා වන අන්දමට, අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි තවත් සංචාරක පිරිසක් සහ ප්‍රේමලාල් ජයසේකර මහතා අතර කිසියම් කරුණක් සම්බන්ධයෙන් බහින්බස්වීමක් හටගෙන තිබේ. එම ගැටුම දුරදිග යාමත් සමඟ හිටපු මන්ත්‍රීවරයා තමන් සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා අනෙක් පිරිසට තර්ජනය කර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
එම පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රවීන්ද්‍ර ප්‍රේමලාල් මහතා ඇතුළු කණ්ඩායමක් සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා සතුව තිබූ ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇත. අදාළ පිස්තෝලය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් බලපත්‍රයක් නිකුත් කර තිබුණ ද, එහි වලංගු කාලසීමාව 2025 වසරෙන් අවසන් වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීම ද ඔහුට එරෙහිව එල්ල වී ඇති තවත් බරපතළ චෝදනාවකි.
සැකකාර ප්‍රේමලාල් ජයසේකර මහතා අද දිනම නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නුවරඑළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.