ලෝක ප්‍රජාවගේ අවධානය දිනාගත් ජාත්‍යන්තර “Walk For Peace” සාමයේ පා ගමන, ”ඒහිපස්සිකෝ” නමින් අද (22) දින පෙරවරු 6.30ට දඹුල්ල නගරයෙන් ආරම්භ වේ. රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කර ඇති මෙම සුවිශේෂී පා ගමන අප්‍රේල් 28 වැනිදා දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් පැවැත්වීමට නියමිතය.
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙම වැඩසටහන මෙහෙයවන අතර උන්වහන්සේලා ඊයේ (21) දිවයිනට ළඟා වූහ.
මෙම පා ගමනේ ඉතිහාසය දෙස බැලීමේදී, පසුගිය ඔක්තෝබර් මාසයේදී භික්ෂූන් වහන්සේලා 200 නමකට අධික පිරිසක් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සැතපුම් දහස් ගණනක් පා ගමනින් වැඩම කළහ. ලෝක සාමය උදෙසා සිදුකළ එම දැවැන්ත මෙහෙයුමේ දිගුවක් ලෙස මෙරට වැඩසටහන ක්‍රියාත්මක වේ.
අද ආරම්භ වූ සාම පා ගමනේ පළමු දිනය දඹුල්ලේ සිට මාතලේ ඓතිහාසික අලුවිහාරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත. මෙම පා ගමනේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ ඇමෙරිකාවේදී ද භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව සිටි “ආලෝකා” නැමැති සුනඛයා මෙරට පා ගමන සඳහා ද එක්ව සිටීමයි.
කලාපීය වශයෙන් සහ ගෝලීය වශයෙන් පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, අධ්‍යාත්මික සුවය සහ සාමකාමී සහජීවනය ලොවට ප්‍රකාශ කිරීම මෙම පා ගමනේ මූලික අරමුණයි. අප්‍රේල් 28 වැනිදා දක්වා දින හතක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට සම්බන්ධ වීමට සිවිල් ජනතාවට ද අවස්ථාව සලසා දී තිබේ.