තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. 2023 වසරේදී ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු කරන ප්‍රථම නිල සංචාරය මෙය වීම විශේෂත්වයකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ආරාධනයකට අනුව මෙරටට පැමිණි මාලදිවයින් නායකයා ලබන 06 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතය.
රාජ්‍ය පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව, දෙරටේ නායකයින් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පැවැත්වේ. එහිදී,
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම, කලාපීය සහයෝගීතාව සහ ආර්ථික සබඳතා පුළුල් කිරීම, විවිධ ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි නව අවබෝධතා ගිවිසුම් (MoU) කිහිපයකට අත්සන් තැබීම.
මෙම සාකච්ඡාවලින් පසු නායකයින් දෙපළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය නිමිත්තෙන් කොළඹ නගරය තුළ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, ලබන 06 වැනිදා දක්වා කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන මාර්ගවල අවස්ථානුකූලව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය මහජනතාවට දැනුම් දී සිටී.