සිරස්තල

හින්ද රාජපක්ෂ සහ පියංකර ජයරත්න අද අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු 9.00ට කොමිසම වෙත පැමිණෙන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කළේය.

මෙම ගනුදෙනුව හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම දැනටමත් නඩු පවරා ඇත. මෑතකදී සැකකටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාගෙන් මීට පෙර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මෙම විමර්ශනවලට දැඩි ලෙස බලපා තිබේ.

අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දන්වා තිබුණේ, අදාළ මුදල්වලින් රුපියල් මිලියන 60ක ප්‍රමාණයක් අවස්ථා තුනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර ඇති බවයි.

එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන මෙම පුළුල් විමර්ශනයේ තවත් පියවරක් ලෙස, ඊයේ (11) දිනයේදී දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතා ද අල්ලස් කොමිසම හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන බලධාරීන් කිහිපදෙනෙකුගෙන්ම ඉදිරියේදී කරුණු විමසීමට නියමිත බව වාර්තා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්