ගාල්ල වරාය, මාගල්ල සහ සම්බෝධි හන්දිය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ පරිගණක අපරාධවල නිරත වූ බවට සැකකෙරෙන විදේශිකයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල වරාය පොලිසිය සමත්ව තිබේ. වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය සහ නේපාල ජාතිකයින් සිටින බව පොලිසිය තහවුරු කර ඇත. මොවුන් වයස අවුරුදු 21ත් 47ත් අතර පසුවන පිරිමි පුද්ගලයන් වන අතර, සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙවැනි ජාවාරම්වල නිරත වූයේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
වැටලීම සිදු කළ ස්ථානවල තිබී අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන තාක්ෂණික උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. ඒ අතර,
පරිගණක යන්ත්‍ර 10ක්
ජංගම දුරකථන 32ක් ප්‍රධාන වේ.
මෙම උපකරණවල අඩංගු දත්ත විශ්ලේෂණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.
ගාල්ල වරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර, මෙම ජාලයට සම්බන්ධ දේශීය තැරැව්කරුවන් සිටීද යන්න පිළිබඳව ද අවධානය යොමු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.