දිවයිනට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ දෛනික ජන ජීවිතයට සහ සෞඛ්‍ය සේවාවලට දැඩි බාධා එල්ල වී තිබේ. පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ හලාවත මහා රෝහලේ වාට්ටු 3ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
හලාවත රෝහල් පරිශ්‍රයට මෙලෙස ජලය ගලා ඒම හේතුවෙන් ආපදාවට ලක්වූ වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත වෙනත් වාට්ටු වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දිනේෂ් කොග්ගල මහතා සඳහන් කළේය. රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය මේ වන විට විශේෂ මෙහෙයුමක නිරතව සිටී.
ඊයේ රාත්‍රියේ සිට ප්‍රදේශයට ඇද හැළෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී පවතී. වැසි සමඟ හමාගිය තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකදීම මාර්ගවලට ගස් කඩා වැටීම් ද වාර්තා වේ.
මාදම්පේ – ගලහිටියාව මාර්ගය වැසේ: පුත්තලම, මාදම්පේ – ගලහිටියාව මාර්ගය හරහා විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
පොලිස් දැනුම්දීම: මාර්ගය අවහිර වීම හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග වෙත යොමුවන ලෙස මාදම්පේ පොලීසිය හදිසි දැනුම්දීමක් සිදුකර සිටී.
කඩා වැටුණු ගස් ඉවත් කර මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රදේශවාසීන් සහ සහන සේවා කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටී.