හොරණ වැඩිහිටි නිවාසයේ මහා ඛේදවාචකයට හේතුව සොයාගනියි

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයන් 12 දෙනෙකුට ජීවිත අහිමි කළ මහා ගින්න හටගත් නිශ්චිත ස්ථානය සහ ඊට හේතුව නිල වශයෙන්

මිතුරන් සමග බෙදාගන්න

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයන් 12 දෙනෙකුට ජීවිත අහිමි කළ මහා ගින්න හටගත් නිශ්චිත ස්ථානය සහ ඊට හේතුව නිල වශයෙන් අනාවරණය කර ගැනීමට රජයේ රස පරීක්ෂක (Government Analyst) නිලධාරීන් සමත්ව තිබේ.

අද (04) දින පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණි විශේෂ විද්‍යාත්මක විමර්ශන කණ්ඩායම් විසින් සිදුකළ සූක්ෂ්ම ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.

රජයේ රස පරීක්ෂක වාර්තාවලට අනුව, මෙම දරුණු ගින්න ආරම්භ වී ඇත්තේ වැඩිහිටි නිවාසයේ පිහිටි ජල මෝටරය (Water Pump) ක්‍රියාත්මක වන ස්ථානයෙනි. ජල මෝටරය සඳහා විදුලිය ලබා දී තිබූ ‘මල්ටි ප්ලග්’ (Multi-plug) එකක් ඔස්සේ සිදුවූ දරුණු විදුලි කාන්දුවක් (Electrical Short Circuit) හේතුවෙන් මෙම අනතුර මුලින්ම හටගෙන තිබේ.

විදුලි කාන්දුවීමත් සමඟ ඇතිවූ අධික තාපය සහ විදුලි පුළිඟු ක්ෂණිකව අවට පරිසරයට මුදාහැරී ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.

මෙම විදුලි කාන්දුව සිදුවූ ස්ථානයට සෘජුවම ආසන්නයේ අධික ලෙස ගිනි ඇවිළෙන සුලු මෙට්ට 80ක් පමණ ගබඩා කර තිබීම හේතුවෙන් තත්ත්වය පාලනයෙන් තොරව දරුණු අතට හැරී තිබේ. මල්ටි ප්ලග් එකෙන් මතු වූ ගිනි පුළිඟු මෙම මෙට්ට තොගය මතට පතිත වීමත් සමඟ, ඝන දුම් පටල නිකුත් කරමින් ගින්න ඉතා කෙටි වේලාවකදී මුළු ගොඩනැගිල්ල පුරාම වේගයෙන් ව්‍යාප්ත වී ඇත.

නින්දේ පසුවූ අසරණ වයෝවෘද්ධ නේවාසිකයන්ට කාමරවලින් පිටතට පැමිණීමටත් පෙර, මෙට්ට පිලිස්සීමෙන් පිටවූ අධික විෂ වායුව සහ ගිනිදැල් ශරීරගත වීම මෙම දරුණු ජීවිත හානි සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධානතම හේතුව වූ බව ද රස පරීක්ෂක නිලධාරීහු පෙන්වා දෙති.

අඟුරුවාතොට පොලිසිය මෙම රස පරීක්ෂක වාර්තාව ද පාදක කර ගනිමින්, ආයතන පාලනාධිකාරියේ පවතින අනාරක්ෂිත සහ නොසැලකිලිමත් රාජකාරි ක්‍රියාකලාපය පිළිබඳව ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්