හොරණ වැඩිහිටි නිවාසයේ මහා ඛේදවාචකය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ නිවේදනයක්

හොරණ, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක සිදු වූ දරුණු ගින්නෙන් වයෝවෘද්ධ මාපියන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබීමේ ශෝකජනක සිදුවීම

මිතුරන් සමග බෙදාගන්න

හොරණ, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක සිදු වූ දරුණු ගින්නෙන් වයෝවෘද්ධ මාපියන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබීමේ ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කම්පනයට පත් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම විපත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින වත්මන් පසුබිමක, ඔවුන් රැක බලාගැනීම සහ ඔවුන් උදෙසා උපරිම ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම සමාජය මෙන්ම රාජ්‍යය ද සතු පැහැර හැරිය නොහැකි මූලික වගකීමක් බවයි.

අනතුරට මුහුණ පෑ සත්කාරක මධ්‍යස්ථානය තුළ සාමාන්‍ය වයෝවෘද්ධ පුද්ගලයන්ට අමතරව, විශේෂ අවශ්‍යතා සහිත (Differently-abled) වැඩිහිටියන් මෙන්ම තරුණ පිරිසක් ද රඳවා සිට ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එවැනි විවිධ කාණ්ඩවල පිරිස් ක්‍රමවත් වෙන්කිරීමකින් තොරව එකම මධ්‍යස්ථානයක රඳවා තැබීම, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබූ පියවර, සහ විශේෂයෙන්ම හදිසි ගිනි අනතුරකදී අසරණ නේවාසිකයන් මුදවා ගැනීමට (Emergency Evacuation) නිසි යාන්ත්‍රණයක් හෝ පහසුකම් එහි ස්ථාපිතව තිබුණේද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථ රැසක් මේ වන විට මතුව ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

මෙවැනි සත්කාරක සහ වැඩිහිටි මධ්‍යස්ථාන දිවයින පුරා විශාල වශයෙන් පිහිටුවා තිබුණ ද, ඒවා නිසි පරිදි නියාමනය (Regulation), සුපරීක්ෂණය සහ ඒවායේ නීත්‍යානුකූලභාවය සෙවීම රාජ්‍යයේ වගකීමක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන ඇතුළු රජයේ වගකිවයුතු නිලධාරීන් මෙවැනි ස්ථානවල භෞතික තත්ත්වය, ගිනි ආරක්ෂණ ප්‍රමිතීන් සහ එහි රැඳී සිටින්නන්ගේ මානසික මට්ටම අඛණ්ඩව සොයා බැලිය යුතුය. එබැවින් මෙරට ක්‍රියාත්මක සියලුම සත්කාරක මධ්‍යස්ථානවල ප්‍රමිතීන් වහාම සමාලෝචනය කර, අවශ්‍ය විධිවිධාන සහ උපදෙස් ලබාදීම සඳහා කඩිනම් ජාතික යාන්ත්‍රණයක් සකස් කරන ලෙස විපක්ෂ නායකවරයා රජයට යෝජනා කර සිටියි.

අපගේ වැඩිහිටි ප්‍රජාවට මෙවැනි පොදු නවාතැන්පොළවල් තුළ සිය ජීවිතයේ අවසන් කාලය ගත කිරීමට බලපා ඇති සාමාජීය හා ආර්ථිකමය හේතු සාධක දෙස සමාජයක් ලෙස ගැඹුරින් විමසා බැලිය යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තමන් මෙලොවට බිහිකළ තමන්ගේම මව්පියන් ආදරයෙන් සුරක්ෂිත කිරීමේ වගකීම සහ වගවීම වත්මන් තරුණ දරු පරපුරේ සිත් තුළ හුරු කරවීම වත්මන් යුගයේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවක් බව ද ඔහු සඳහන් කරයි.

අවසාන වශයෙන්, මෙම බිහිසුණු ඛේදවාචකයෙන් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වූ සියලුම මාපියන්ට සහ සහෝදර ජනතාවට නිවන් සුව ප්‍රාර්ථනා කරන බවත්, දැනට පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සියලුම දෙනාට කඩිනමින් සුවය ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්