පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන ක්‍රියාවලිය සඳහා කිසිදු පාර්ශවයකින් දේශපාලන බලපෑම් හෝ අතගැසීම් සිදු නොවිය යුතු බව කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදක සහ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා දැඩි ලෙස අවධාරණය කරයි.
යම් හෙයකින් එවැනි දේශපාලන මැදිහත්වීමක් සිදු වුවහොත්, එය එදා ප්‍රහාරයෙන් යුක්තිය පසිඳලීම අපේක්ෂාවෙන් පසුවන වින්දිත ජනතාවට කරනු ලබන බලවත් සහ අනුකම්පා විරහිත අසාධාරණයක් බව පියතුමා පෙන්වා දෙයි. අද (08) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ, වර්තමානයේ රට තුළ සිදුවෙමින් පවතින ඇතැම් දේශපාලනමය සහ පරිපාලනමය ක්‍රියාවලීන් දෙස බැලීමේදී, පාස්කු ප්‍රහාරයේ නිල විමර්ශන කටයුතුවලට යම්කිසි ආකාරයක බාධාවක් හෝ මන්දගාමී ස්වභාවයක් මතුවීමට ඉඩ ඇතැයි සමාජය තුළ සාධාරණ සැකයක් මතු වෙමින් පවතින බවයි.
රටේ පවතින නීත්‍යානුකූල සහ වගකිවයුතු විමර්ශන කණ්ඩායම්වලට කිසිදු පාර්ශවයක බලපෑමකින් තොරව ස්වාධීන වගකීමක් ඉටු කිරීමට ඉඩ දිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.
මාධ්‍ය හමුවේදී පියතුමා විසින් ප්‍රකාශ කරන ලද අදහස් මෙසේය:
“කිසිම විදියකින්, කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයෙක් මේ විමර්ශන කටයුතුවලට ඇඟිලි ගහන්න (මැදිහත් වෙන්න) අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රටේ නිල සහ නීත්‍යානුකූල විමර්ශන කණ්ඩායම් ස්ථාපිත කරලා තියෙනවා, ඒ වගේම ඒ අය මේ වන විටත් තමන්ගේ පරීක්ෂණ සිදුකරගෙන යනවා.
එතකොට අපේ වගකීම වෙන්නේ ඒ විමර්ශන සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය කරන සියලුම යටිතල පහසුකම් සැපයීම සහ කිසිදු බියකින් හෝ සැකයකින් තොරව නිදහසේ එම විමර්ශන මෙහෙයවන්න උදව් කිරීමයි. එය මේ රටේ හැම කෙනෙකුගේම පැහැර හැරිය නොහැකි යුතුකමක් සහ වගකීමක්. ඒ නිසා එම විමර්ශනවලට කවුරුහරි බාධා කරනවා නම්, ඒක වින්දිතයින්ට කරන බලවත් අසාධාරණයක්.”