ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් අලුත්ගම නගරයේ ඉතා සූක්ෂ්ම අයුරින් පවත්වාගෙන ගිය මහා පරිමාණ ගණිකා නිවාස දෙකක් වටලා, එහි සිටි කළමනාකරුවෙකු සහ තරුණියන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් සමත්ව තිබේ.
දිගු කලක සිට ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට පීඩාවක් වන අයුරින් පවත්වාගෙන ගිය මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (09) රාත්‍රී කාලයේදී මෙම හදිසි වැටලීම් (Raids) සිදුකර ඇත.
පොලිසිය පවසන පරිදි, වැටලීමේදී කොටු කරගත් ජාවාරමේ ප්‍රධාන කළමනාකරු වයස අවුරුදු 57ක් වන අලුත්ගම ප්‍රදේශයේම පදිංචි කරුවෙකි. ඔහු විසින් වැඩි වැටුප් හා පහසුකම් දෙන බව පවසා දිවයිනේ විවිධ දුර බැහැර පළාත්වලින් තරුණියන් මෙම ස්ථාන වෙත ගෙන්වාගෙන ඇති බව හෙළිව තිබේ.
මෙහිදී අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 23ත් 43ත් අතර පසුවන පසුවන්නියන්ය. ඔවුන් තල්ගස්වල, මත්තක, ඇල්පිටිය, කිරිඇල්ල, නවන්තුඩුව, උඩකරවිට, වාද්දූව, මොරටුව, බදුල්ල, මාස්පොත, නුවරඑළිය සහ බිබිල යන විවිධ ප්‍රදේශවලින් පැමිණි අය බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
මෙම මධ්‍යස්ථාන දෙක සතුව තිබූ උපකරණ සහ සැකකටයුතු ලේඛන රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ. නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව, සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් සහ පොදු සදාචාරයට පටහැනිව ලාභ ඉපැයීමේ අරමුණින් මෙම මධ්‍යස්ථාන මෙහෙයවා ඇති බව මූලික පරීක්ෂණවලදී තහවුරු විය.
අත්අඩංගුවට ගත් කළමනාකරු සහ සැකකාරියන් 12 දෙනා අද දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අලුත්ගම පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි පුළුල් විමර්ශන මෙහෙයවනු ලබයි.