ජුනි මස 12 වෙනිදාට යෙදෙන “ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමඟින් පෙන්වා දෙන්නේ 2025 වසරේදී පමණක් ළමා ශ්රමිකත්වයට අදාළව පැමිණිලි 516ක් එම අධිකාරිය වෙත ලැබී ඇති බවයි. ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් වන අතර එම සංඛ්‍යාව 287කි. මීට අමතරව ළමා ශ්‍රමිකත්වය පිළිබඳ පැමිණිලි 173ක් සහ ළමා වෙළඳාම පිළිබඳ පැමිණිලි 53ක් ද ඒ අතර වේ.
ළමා ශ්‍රමය යනු ළමයින්ගේ ළමා කාලය, විභවය සහ ගෞරවය අහිමි කරමින් ඔවුන්ගේ ශාරීරික හා මානසික සංවර්ධනයට හානි කරන වැඩ බව එම නිවේදනයේ දැක්වේ. වයස අවුරුදු 16ට අඩු සෑම ළමයෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු අතර, වයස අවුරුදු 16-18 අතර ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්වල යෙදවිය නොහැක. ඔවුන්ව යෙදවිය හැක්කේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට හෝ සදාචාර වර්ධනයට අනතුරුදායක නොවන රැකියාවල පමණි. දැනට ළමයින්ගේ ආරක්ෂාවට අන්තරායකර රැකියා 71ක් හඳුනාගෙන ඇති බව ද අධිකාරිය අවධාරණය කරයි.
ළමයින් මෙහෙකාර සේවයට, වීදි වෙළඳාමට, මත්ද්‍රව්‍ය විකිණීමට, ගණිකා වෘත්තියට හෝ සයිබර් තාක්ෂණය ඔස්සේ වාණිජ කටයුතුවලට යොදාගැනීම අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. විශේෂයෙන්ම ළමයින් සිඟමනේ යොදවන දෙමාපියන්ට සහ තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර ගත කිරීම් සහ දඩ පැනවිය හැකිය. මේ පිළිබඳව සමස්ත පුරවැසියන්ම දැනුවත් විය යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටී.