ශ්‍රීලංකන් ගුවන් සේවය සෞදි අරාබියේ සිය ජාලය පුළුල් කරයි

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ‘සවුදියා’ (Saudia) සහ ‘ෆ්ලයිනාස්’ (Flynas) ගුවන් සේවාවන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඇති කරගත් බව

මිතුරන් සමග බෙදාගන්න

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ‘සවුදියා’ (Saudia) සහ ‘ෆ්ලයිනාස්’ (Flynas) ගුවන් සේවාවන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඇති කරගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි. මෙම සහයෝගීතාවය තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමනාන්ත ජාලය පුළුල් වන අතර සෞදි අරාබි රාජ්‍යය තුළ මෙන්ම ජාත්‍යන්තර ගමනාන්ත රැසක් වෙත ප්‍රවේශ වීමට මගීන්ට වැඩි අවස්ථාවක් උදාවේ. මෙම හවුල්කාරිත්වය යටතේ සවුදියා ගුවන් සේවය ජාත්‍යන්තර ගමනාන්ත 7ක් සහ සෞදි අරාබියේ දේශීය ගමනාන්ත 13ක් වෙත ප්‍රවේශය ලබා දෙන අතර, ෆ්ලයිනාස් ගුවන් සේවය තවත් ජාත්‍යන්තර ගමනාන්ත 8ක් සහ දේශීය ගමනාන්ත 6ක් ජාලයට එක් කරයි. එමඟින් මගීන්ට අම්මාන්, අබුඩාබි, බහරේන්, කයිරෝ, ඩුබායි, කුවේට් සිටි, ලොස් ඇන්ජලීස් වැනි ලෝකප්‍රකට නගර වෙත මෙන්ම ජෙද්ද, අබහ්, මදීනා, ටබුක්, ඇඩිස් අබාබා, කරච්චි, ගීසා, ටෂ්කන්ට් සහ සොහාග් වැනි දේශීය හා ජාත්‍යන්තර ගමනාන්ත වෙත ඉහළ සංචාරක නම්‍යශීලීභාවයකින් යුතුව ගමන් කළ හැකි වේ.

සෞදි අරාබිය පුරා සංචාරය කරන මගීන්ට දැන් රියාද් සහ දම්මාම් හරහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොළඹ බලා ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් සමඟ බාධාවකින් තොරව සම්බන්ධ විය හැකි අතර, එතැන් සිට ගුවන් සේවයේ ජාත්‍යන්තර ජාලයේ ඕනෑම ගමනාන්තයක් වෙත ගමන් කළ හැකිය. දෙරට අතර ව්‍යාපාරික, විවේකී සහ නෑදෑ හිතමිතුරන් බැලීමට යන සංචාරකයින්ගේ වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට රියාද් සහ දම්මාම් යන නගර දෙකෙන්ම කොළඹ බලා දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුත් තෙන්නකෝන් මහතා පැවසුවේ, මෙම හවුල්කාරිත්වය තුළින් සෞදි අරාබිය පුරා මෙහෙයුම් පුළුල් කරන අතරම, මැදපෙරදිග, අප්‍රිකාව සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන ගමනාන්ත වෙත සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබන බවයි. සෞදි අරාබියේ ශ්‍රීලංකන් ගුවන් සේවා කළමනාකරු තුසිත වික්‍රමසිංහ මහතා ද සඳහන් කළේ, මෙම සහයෝගීතාවය මඟින් මගීන්ට වැඩි පහසුවක්, පුළුල් සංචාරක විකල්පයන් සහ වඩාත් සුවපහසු සංචාරක අත්දැකීමක් ලැබෙන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය සෘජු ගුවන් ගමන් සහ හවුල්කාර ගුවන් සේවා (codeshare) හරහා රටවල් 63ක් පුරා ගමනාන්ත 131ක් වෙත මගීන් සම්බන්ධ කරන අතර, ලොව පුරා ගමනාන්ත 34ක් වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. එහි ගුවන් මෙහෙයුම් ජාලය යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දීය අර්ධදවීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග දක්වා විහිදෙන අතර, Airbus A330-200/300 සහ A320/321 වර්ගයේ නවීනතම ගුවන් යානාවලින් සමන්විත පූර්ණ එයාර්බස් යානා ඇණියක් මේ සඳහා යොදවා ඇත. වැඩි විස්තර සහ ගුවන් ගමන් වෙන්කරවා ගැනීම් සඳහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසිය හැකිය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්