ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ.
යුදමය වාතාවරණය පැවති සමයේ ආබාධිත වූ රණවිරුවන් නිශ්චිතව හඳුනාගෙන, ඔවුන්ගේ නොවිසඳුණු ගැටලුවලට සහන සැලසීම සඳහා පත්කළ කමිටුවට අදාළ කැබිනට් පත්‍රිකාව අනුව මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය, ආබාධිත වූ හෝ ආබාධිත තත්ත්වය නිසා නිවාඩු නොමැතිව රාජකාරියට වාර්තා නොකිරීමෙන් සේවයෙන් ඉවත් කරන ලද පුද්ගලයන් පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජනය සහිත වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට මෙහිදී තීරණය වී ඇත. එමෙන්ම, එම වෛද්‍ය මණ්ඩල කටයුතු ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කර ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
දිවයින පුරා විසිරී සිටින ආබාධිත රණවිරුවන්ට කිසිදු අවහිරතාවක් නොවන පරිදි, ත්‍රිවිධ හමුදාව සතු වෛද්‍ය පහසුකම් උපරිමයෙන් භාවිත කරමින් ඔවුන් මෙම වෛද්‍ය මණ්ඩල වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම, සුදුසුකම් ලබන සියලුම පුද්ගලයන් වෙත කිසිදු ප්‍රමාදයකින් තොරව අදාළ ප්‍රතිලාභ ළඟා කර දීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඒ මහතා සියලුම පාර්ශවකරුවන්ට අවධාරණය කළේය.