DIMO සහ TATA Motors එක්ව පොලිස් මෙහෙයුම් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම, ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම, ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම වාහන පෙළ මඟින් උතුරු පළාතේ පොලිස් මෙහෙයුම් සහ මහජන සේවා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට දායකත්වය සැපයේ.

මෙම නිල භාරදීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය කේ.එම්. ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, අමාත්‍යාංශ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එසේම DIMO සමාගම නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ, මහේෂ් කරුණාරත්න (COO – Automotive Engineering Solutions) සහ සම්පත් කුමාරසිංහ යන මහත්වරුන් ද, TATA Motors India සමාගම වෙනුවෙන් එහි SAARC කලාපීය කළමනාකරු අභිජීත් දාස් ශර්මා, අලීමුද්දීන් සයීද් සහ රහීබ් ඛාන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ව්‍යාපෘතියේ වැදගත්කම සහ වාහනවල සුවිශේෂීතා

  • ද්විපාර්ශ්වික සබඳතා: ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පිරිනමන ලද මෙම කැබ් රථ, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සංකේතයක් ලෙස සැලකේ.

  • මෙහෙයුම් කාර්යක්ෂමතාව: කැබ් රථ 134කින් සමන්විත මෙම රථ පෙළ උතුරු පළාත පුරා දුරස්ථ ප්‍රදේශවලට පහසුවෙන් ප්‍රවේශ වීම, දෛනික මුර සංචාර, නීතිය හා සාමය පවත්වාගෙන යාම සහ ප්‍රජා සේවා වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට යොදවා ඇත.

  • තාක්ෂණික යෝග්‍යතාව: ශ්‍රී ලංකා පොලීසියේ මෙහෙයුම් අවශ්‍යතාවලට අනුව මෙම රථ විශේෂ වෙනස්කම්වලට ලක් කර ඇත. ඒ අනුව, ශක්තිමත් ඩීසල් එන්ජිම, ඉහළ බර ප්‍රවාහන හැකියාව සහ කල්පවතින චැසි ව්‍යුහයට අමතරව, විශේෂ ආරක්ෂිත ආවරණ සහ නිලධාරීන් ප්‍රවාහනයට පහසු දිගු ආසන පද්ධතියක් ද මීට ඇතුළත් වේ.

ආයතනික අදහස්

රජීව් පණ්ඩිතගේ මහතා (විධායක අධ්‍යක්ෂ – DIMO): “ජාතික සේවා කටයුතු සඳහා සහාය වන මෙවැනි වැඩසටහනක කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙම වාහන භාරදීම හරහා TATA වාහන සම්බන්ධයෙන් පවතින විශ්වාසය මෙන්ම, රටේ ප්‍රගතියට දායක වන විශ්වාසනීය ප්‍රවාහන විසඳුම් ලබාදීමට DIMO සතු හැකියාව ද මනාව පිළිබිඹු කරනවා.”

මහේෂ් කරුණාරත්න මහතා (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – DIMO Automotive Engineering Solutions): “DIMO හි අපගේ වගකීම වාහනයක් භාරදීමෙන් අවසන් වන්නේ නැහැ. දිගුකාලීන විශ්වාසනීයත්වය සහ මෙහෙයුම් සූදානම සහතික කිරීම සඳහා අලෙවියෙන් පසු සේවා (After-sales services), තාක්ෂණික දැනුම සහ නියම අමතර කොටස් සැපයීම ඇතුළත් පුළුල් සහාය පද්ධතියක් අපි පවත්වාගෙන යනවා.”

මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 85කට අධික විශිෂ්ටත්වයකට හිමිකම් කියන DIMO සමාගම, සියලු පාර්ශවයන් සම්බන්ධීකරණය කරමින්, වාහන සැපයීම, තාක්ෂණික සූදානම් කිරීම්, තත්ත්ව පරීක්ෂණ සහ ලොජිස්ටික් සහාය ලබාදෙමින් මෙම ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ සාර්ථකව නිම කිරීමට කටයුතු කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්