තෙල්දෙණිය රෝහල අසල රථගාලක දමා තිබූ මෝටර් රථයකින් භෞත චිකිත්සකවරියකගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී තිගැස්සෙනසුලු තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කළ 34 හැවිරිදි ශම්‍යා දර්ශනී නැමැති භෞත චිකිත්සකවරියකි. ඇයගේ මළ සිරුර මෝටර් රථයේ ඉදිරිපස අසුන දිගහැර, කළු රෙද්දකින් වසා දමා තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.
පොලිස් විමර්ශනවලට අනුව මියගිය තරුණිය සහ මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන දිනෙත් දිසානායක නැමැත්තා අතර මාස 8ක සිට ප්‍රේම සබඳතාවක් පැවතී ඇත. දෙදෙනා එක්ව කැනඩාවට යෑමේ බලාපොරොත්තුවෙන්, තරුණිය විසින් බැංකුවලින් සහ පුද්ගලයන්ගෙන් පොලියට ගත් රුපියල් කෝටි එකහමාරක පමණ දැවැන්ත මුදලක් මෙම පෙම්වතාට ලබා දී තිබේ. විදේශගත වීම ප්‍රමාද වීම සහ ණයහිමියන් මුදල් ඉල්ලා බලපෑම් කිරීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පසුවී ඇති අතර, මියයන්නට පෙර ඇය දින 3ක් ආහාර ගෙන නොමැති බව සිය සොහොයුරාට පවසා ඇති අතර, අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට ද තමන් පසුවන පීඩනය ගැන පවසා තිබේ.
ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ මෙම මෘදුකාංග ඉංජිනේරුවරයා නුවරඑළියේ ඇය නැවතී සිටි මහල් නිවාසයට පැමිණ විනාඩි 40ක් පමණ රැඳී සිට, පසුව සිහිසුන්ව සිටි තරුණියව ඔසවාගෙන ගොස් මෝටර් රථයක දමාගෙන පළාගොස් ඇති බව සීසීටීවී දර්ශනවලින් හෙළි වී ඇත. වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, මළ සිරුර ප්‍රවාහනය කිරීමට සැකකරු භාවිත කර ඇති මෝටර් රථය, අම්පාර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ වෙනත් පෙම්වතියකට අයත් එකක් වීමයි. තරුණිය මියගිය පසු සිරුර කාර් එක තුළ දමා, තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට නාඳුනන අයෙකු ලෙස දුරකථන ඇමතුමක් දී ඒ පිළිබඳ දැනුම් දී ඇත්තේ ද මෙම සැකකාර පෙම්වතා විසින්ම බව හෙළිවී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න මෙතෙක් තහවුරු වී නැත. නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, දැනට ප්‍රදේශයෙන් පලාගොස් සිටින දිනෙත් දිසානායක නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.