රැඳවුම් භාරයේ පසුවන ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන “කෙහෙල්බද්දර පද්මේ” නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැක කෙරෙන, බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැති දරුණු ගණයේ අපරාධකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනයකට (Red Notice) අනුව මැලේසියාවේ සැඟවී සිටි මෙම සැකකරුව එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව, දිවයිනට පැමිණි සැණින් මෙලෙස කොටු කර ගැනීමට හැකි වී ඇත.
කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 41/42 වියේ පසුවන මෙම සැකකරුට එරෙහිව බරපතළ ගණයේ මිනීමැරුම් චෝදනා රැසක් පවතී. විශේෂයෙන්ම 2022 වසරේ ජූලි මාසයේදී ගම්පහ අධිකරණ සංකීර්ණය අසලදී තවත් ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ “පස්පොඩ්ඩා” ඇතුළු පිරිස ඉලක්ක කර ගනිමින් සිදුකළ දරුණු වෙඩි තැබීමට මොහු සෘජුවම සම්බන්ධ බවට හඳුනාගෙන ඇත.
එම වෙඩි තැබීමෙන් පස්පොඩ්ඩා ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලැබීය.
කටුනායකදී අත්අඩංගුවට ගත් “මාටියා” නමැති මෙම වෙඩික්කරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මූලික ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අනතුරුව ඉදිරි පුළුල් විමර්ශන කටයුතු සඳහා ඔහුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇත.
පාතාල කල්ලි ක්‍රියාකාරකම් සහ ඉදිරි අපරාධ සැලසුම් රැසක සුලමුල අනාවරණය කර ගැනීම සඳහා සැකකරු සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග (Detention Orders) ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.