මීගමුව බන්ධනාගාරයේ ලේ වැකි ගැටුම විමර්ශනයට කමිටුවක්

මීගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් සහ දඬුවම් නියම වූ රැඳවියන් (Convicted Prisoners) දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ හටගත් බහිසුණු ගැටුමකින් රැඳවියන්

මිතුරන් සමග බෙදාගන්න

මීගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් සහ දඬුවම් නියම වූ රැඳවියන් (Convicted Prisoners) දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ හටගත් බහිසුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ලේ වැකි ගැටුම සහ ඉන් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා තහවුරු කළේය.

ගැටුම නිමාවීමත් සමඟ තුවාල ලැබූ රැඳවියන් 34 දෙනෙකු වහාම මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි. මීගමුව දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගමලත්ගේ මහත්මිය සඳහන් කළේ, ඉන් තත්ත්වය බරපතළ වූ රැඳවියන් 10 දෙනෙකු පමණ රෝහල තුළදී හදිසි ශෛල්‍යකර්මවලට (Surgeries) භාජනය කළ බවයි.

තවද, අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. ගැටුමෙන් පසු ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මතට නැඟ විරෝධතාවයක නිරත වී ඇති අතර, එහිදී වහලයෙන් බිමට ඇද වැටීමෙන් තවත් රැඳවියන් සිව් දෙනෙකු (04) තුවාල ලබා රෝහල්ගත කර ඇත.

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම දරුණු උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ශ්‍රී ලංකා යුද හමුදාව (Sri Lanka Army) වහාම කැඳවීමට බලධාරීහු කටයුතු කළහ. මේ වන විට බන්ධනාගාරය ඇතුළත සහ පිටත දැඩි සන්නද්ධ ආරක්ෂාවක් යොදවා තිබේ.

මේ අතර, ගැටුම සැලවීමත් සමඟ බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වූහ. එහිදී බලධාරීන් විසින් තමන්ට නිවැරදි තොරතුරු ලබා නොදෙන බව පවසමින් ඥාතීන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර, පසුව පොලීසිය මැදිහත් වී රෝහල්ගත කළ සහ ආරක්ෂිතව සිටින රැඳවියන්ගේ තොරතුරු ලබාදෙමින් තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගත්තේය.

සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා මෙසේ පැවසීය:

“දැනට මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2417ක අධික පිරිසක් රඳවා සිටිනවා. මෙම ගැටුම මුළුමනින්ම රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූවක් මිස, බන්ධනාගාර නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් මෙයට නෑ. මේ වන විට බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්ගේම සහයෝගය ඇතිව ඇතුළත පාලනය සම්පූර්ණයෙන්ම සාමකාමී කර තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස පල්ලන්සේන කඳවුර වෙත මාරු කර යැවීමට කටයුතු කළා. රැඳවියන් විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව සාධාරණව කටයුතු කරන බවට ඔවුන්ට දැනුම් දුන්නා. එබැවින් ඥාතීන්ට අනියත බියක් ඇති කර නොගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්