ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබන සඳුදා (16) දිවයිනට පැමිණීමට නියමිතය. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඇය එළැඹෙන බදාදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.
මෙම සංචාරය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම මෑතකාලීන ස්වභාවික ව්‍යසනයන් හමුවේ ඉතා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජෝර්ජිවා මහත්මියගේ මෙම සංචාරය තුළදී ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.
රජයේ ප්‍රධාන බලධාරීන් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීම. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදුවූ හානිය පිළිබඳව සෘජු නිරීක්ෂණයක නිරත වීම. විපතට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමට සහ ජනතාවගේ ජීවනෝපාය නංවාලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ක්‍රමවේද සොයා බැලීම.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීතාව තහවුරු කරමින්, සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට සහාය වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණ බව මෙම සංචාරය හරහා අවධාරණය කෙරේ.
විශේෂයෙන්ම ස්වභාවික ව්‍යසනයන් හමුවේ ඇතිවන ආර්ථික පීඩනය කළමනාකරණය කරගැනීමට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇත.