L.T.T.E. සංවිධානය ප්‍රවර්ධනය වන පරිදි ගීත ගැයූ තරුණයෙක් රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය මැයි 31 වැනිදා චාවකච්චේරිය පොලිස් වසමට අයත් නාවක්කුලි ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකදී, මෙරට තහනම් කර ඇති එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රවර්ධනය වන අයුරින්

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය මැයි 31 වැනිදා චාවකච්චේරිය පොලිස් වසමට අයත් නාවක්කුලි ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකදී, මෙරට තහනම් කර ඇති එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රවර්ධනය වන අයුරින් ගීත ගායනා කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

ලද රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින්, මෙම ගීත ගායනය සිදුකළ බවට සැක කෙරෙන කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකුව පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් සහ තාක්ෂණික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සංගීත ප්‍රසංගයේදී තමන් ගායනා කරන ලද ගීත දෙකක් මෙම සැකකරු විසින්ම පසුව සංස්කරණය (Edit) කර ඇති බවයි.

එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය වන සහ එම සංවිධානය වර්ණනා කෙරෙන අයුරින් තමන්ගේම හඬින් නැවත හඬ කවා (Voice cut), එම වීඩියෝ පට සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් වෙත උඩුගත කර (Upload) ප්‍රසිද්ධියේ ප්‍රචාරය වීමට ඉඩ සලස්වා ඇති බව විමර්ශනවලදී සනාථ වී තිබේ.

මෙලෙස තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීම සහ ඊට අනුබල දීම 1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (PTA) 3 (උ) වගන්තිය ප්‍රකාරව බරපතල දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදකි.

ඒ අනුව, යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සැකකරු ඊයේ (03) දින චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර තරුණයාව එළඹෙන ජූනි මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්