LGBTQ සංචාරක ව්‍යාපෘතිය අත්හිටුවයි

ශ්‍රී ලංකාව තුළ සමරිසි (LGBTQ+) ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිකුත් කර තිබූ ලිපිය ඉල්ලා

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව තුළ සමරිසි (LGBTQ+) ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිකුත් කර තිබූ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී රජය වෙනුවෙන් නීතිපතිවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර සහ එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. අද දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ පෙත්සම කැඳවූ අතර එහිදී මතු වූ ප්‍රධාන කරුණු මෙසේය:

  • අදාළ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දෙමින් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කළ ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අධිකරණයට තහවුරු කළේය.

  • රජය ලිපිය ඉවත් කර ගන්නා බව පැවසුවද, මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වළක්වාලන ස්ථිර අධිකරණ නියෝගයක් තම සේවාදායකයින් අපේක්ෂා කරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසා සිටියේය.

  • කරුණු තහවුරු කිරීම සහ අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා පෙත්සම මාර්තු මස 04 වනදා යළි කැඳවීමට නියම විය.

සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයට ද පටහැනි බව පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන තර්කය විය. මීට අදාළව ඔවුන් පෙන්වා දුන් අනෙකුත් කරුණු:

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ මෙවැනි සංචාරක කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජයට නොමැති බවයි.

රජයේ එම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්තනෝමතික ලෙස රාජ්‍ය නොවන සංවිධානයකට (Equal Ground) අදාළ අනුමැතිය ලබා දී ඇති බවට පෙත්සම්කරුවන් චෝදනා කළහ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව මහා නාහිමිවරුන් සහ කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකයන් මෙන්ම මහජනතාව ද දැඩි විරෝධයක් පළ කර තිබූ බව පෙත්සමේ සඳහන් වේ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සහ අදාළ රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා නම් කර ඇත.

පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අදාළ ලිපිය බලරහිත කරන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්