ඊශ්‍රායල ප්‍රහාරවලට කිසියම් ආකාරයකින් ඇමෙරිකාව සම්බන්ධ වුවහොත් “ආපසු හැරවිය නොහැකි හානියක්” සිදුවන බවට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි, ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.
බීබීසී පුවත් සේවය සිදු කරන මැදපෙරදිග යුද්ධය පිළිබඳ සජීවී වාර්තාකරණයේ සඳහන් වන පරිදි, අද (ජූනි 18) ඉරාන රූපවාහිනී මාධ්‍ය නාලිකාවක් හරහා කමෙනි මෙම ප්‍රකාශය සිදු කර ඇත.
“ඉරාන ජාතිකයන් යටත් වන අය නොවේ” යනුවෙන් කමෙනි එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. ඔහු පවසන්නේ, “ඉරානය, එහි ජනතාව සහ එහි ඉතිහාසය දන්නා බුද්ධිමත් අය කිසි විටෙකත් මෙම ජාතියට තර්ජන භාෂාවෙන් කතා නොකරති, මන්ද ඉරාන ජාතිකයන් යටත් වන අය නොවන” බවයි.
ඊශ්‍රායලය බරපතළ වැරැද්දක් කර ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් කමෙනි සඳහන් කරනවා. ඉරාන ජාතිය යටත් කර ගත නොහැකි බව ඇමෙරිකානුවන් දැනගත යුතු බවත්, ඔවුන්ගේ පාර්ශ්වයෙන් සිදුවන ඕනෑම මිලිටරි මැදිහත්වීමක් නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
කමෙනි තවදුරටත් කියා සිටියේ, ඉරාන ජාතිකයන් දිවි පිදූවන්ගේ රුධිරය සහ තම භූමියට එල්ල වූ ප්‍රහාරය කිසි විටෙකත් අමතක නොකරන බවයි. ඊශ්‍රායලය තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානය කිසි විටෙකත් සමාව නොදෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම ප්‍රකාශය මැද පෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ දමනු ඇතැයි අපේක්ෂා කෙරේ.