1972 වසරෙන් පසුව ප්‍රථම වතාවට මිනිසුන් සඳ වෙත රැගෙන යාම සඳහා නාසා (NASA) ආයතනය සංවිධානය කරන ඓතිහාසික ‘ARTEMIS – II’ මෙහෙයුම එළඹෙන මාර්තු මස 06 වනදා දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මීට පෙර සැලසුම් කර තිබූ දින වකවානුවලට වඩා සති කිහිපයක ප්‍රමාදයකින් පසුව මෙම තීරණයට එළඹීම විශේෂත්වයකි.
මෙහෙයුම සඳහා යොදාගන්නා දැවැන්ත රොකට්ටුව මේ වන විට අමෙරිකාවේ ෆ්ලොරීඩා හි පිහිටි රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ (Kennedy Space Center) රඳවා ඇත.
රොකට්ටුවට ඉන්ධන පිරවීමේ දෙවැනි පරීක්ෂණ වටය ඊයේ (20) සාර්ථකව පවත්වා තිබේ. මීට පෙර අවස්ථාවක ඉන්ධන පිරවීමේදී දෝෂ කිහිපයක් හඳුනා ගැනීම හේතුවෙන්, නාසා ආයතනය මෙලෙස දෙවැනි වරටත් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන ඇත.
මෙම රොකට්ටුවට ඉන්ධන ගැලුම් 730,000ක් වැනි දැවැන්ත ප්‍රමාණයක් පිරවිය හැකි බව වාර්තා වේ.
ARTEMIS – II මෙහෙයුම හරහා ගගනගාමීන් සිව් දෙනෙකු සඳ වටා ගමන් කර යළි පෘථිවිය බලා පැමිණීමට නියමිතය. මෙය සඳ මත මිනිසුන් පදිංචි කරවීමේ නාසා ආයතනයේ ඉදිරි දැක්මෙහි මූලික පියවරක් ලෙස සැලකේ.
මෙම මෙහෙයුමේ සාර්ථකත්වය මත පදනම්ව, මීළඟ අදියරේදී මිනිසුන් සඳ මත පා තැබීමේ (Artemis III) කටයුතු ආරම්භ කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.