මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉන්දියානු ආර්ථිකයට එල්ල විය හැකි දැඩි බලපෑම් අවම කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට ජනතාවගෙන් සුවිශේෂී ඉල්ලීම් කිහිපයක් සිදුකර තිබේ. විශේෂයෙන්ම ඉහළ යන තෙල් මිල සහ විදේශ විනිමය ගලායාම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
හයිද්‍රාබාද්හි පැවති ජන හමුවක් අමතමින් අගමැතිවරයා අවධාරණය කළේ, මෙම ගෝලීය අර්බුදකාරී අවස්ථාවේදී “පුද්ගලික පහසුවට වඩා රටේ උන්නතිය” පෙරදැරි කරගෙන කටයුතු කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් බවයි.
රටේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ජනතාව වෙත ඉදිරිපත් කළ ප්‍රධාන නිර්දේශ මෙසේය:
ඉන්ධන පිරිමැස්ම: අනවශ්‍ය ගමන් බිමන් සීමා කර පෙට්‍රල් සහ ඩීසල් භාවිතය අවම කිරීම. ඒ වෙනුවට දුම්රිය, මෙට්‍රෝ සේවා, පොදු ප්‍රවාහනය හෝ විදුලි වාහන (EV) භාවිතයට ප්‍රමුඛතාවය දීම.
රන් මිලදී ගැනීම් සීමා කිරීම: විදේශ විනිමය පිටතට ගලායාම වැළැක්වීම සඳහා අවම වශයෙන් වසරක් යන තුරු රන් ආභරණ මිලදී ගැනීම් සහ මංගල උත්සව සඳහා රන් එකතු කිරීම සීමා කරන ලෙස ඉල්ලීම.
විදේශ සංචාර සහ මංගල උත්සව: විදේශයන්හි මංගල උත්සව පැවැත්වීම (Destination Weddings) සහ විදේශ සංචාර සීමා කර, ඒ වෙනුවට දේශීය සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට දායක වීම.
යළිත් නිවසේ සිට වැඩකිරීම (WFH): කොවිඩ් සමයේ මෙන් හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට රාජකාරි කිරීම සහ මාර්ගගත රැස්වීම් (Online meetings) පවත්වා ඉන්ධන ඉතිරි කිරීමට දායක වීම.
ඉන්ධනවලට අමතරව ආනයනික වියදම් අධික ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි ද අගමැතිවරයා අවධානය යොමු කර ඇත:
පොහොර සහ සූර්ය බලය: රසායනික පොහොර භාවිතය 50%කින් පමණ අඩු කර ස්වභාවික ගොවිතැනට යොමුවන ලෙසත්, ඩීසල් මගින් ක්‍රියාකරන ජල පොම්ප වෙනුවට සූර්ය බලයෙන් ක්‍රියාකරන පද්ධති (Solar Pumps) භාවිත කරන ලෙසත් ගොවීන්ගෙන් ඉල්ලා තිබේ.
දේශීය නිෂ්පාදන: ආනයනික ආහාර සහ ද්‍රව්‍ය වෙනුවට දේශීයව නිෂ්පාදිත (Swadeshi) භාණ්ඩ පරිභෝජනයට හුරුවන ලෙස දැනුම් දී ඇත.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 125 ඉක්මවා යාම ඉන්දියාවට දැඩි බලපෑමක් එල්ල කර ඇත. ආනයන වියදම් අඩු කිරීම තුළින් ඉන්දියානු රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීම සහ උද්ධමනය පාලනය කිරීම මෝදි රජයේ මූලික අපේක්ෂාවයි.