තමිල්නාඩු ප්‍රාන්තයේ වසර 40කට අධික කාලයක් වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දීය පුරවැසිභාවය ලබා දෙන ලෙස එරට ප්‍රාන්ත මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගෙන් නිල ඉල්ලීමක් කර තිබේ.
ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකක පමණ කෙටි කාලයක් ඉතිරිව තිබියදී මහ ඇමතිවරයා මෙම ඉල්ලීම සිදු කිරීම දේශපාලනික වශයෙන් ද විශේෂත්වයක් ගනී.
අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ස්ටාලින් මහතා පෙන්වා දී ඇත්තේ තමිල්නාඩුව තුළ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව 89,000ක් පමණ ජීවත් වන බවයි. ඔවුන් පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් එහි සඳහන් වේ,
මෙම පිරිසෙන් 40%කට ආසන්න පිරිසක් ඉන්දියාවේම උපත ලැබූවන් වේ. 1983 වසරේ සිට පැවති විවිධ තමිල්නාඩු රජයන් මධ්‍යම රජයේ සහාය ඇතිව මොවුන්ට අධ්‍යාපන, සෞඛ්‍ය සහ නවාතැන් පහසුකම් සලසා දී ඇත. දශක හතරක කාලයක් ගත වුවද, මෙම ජනතාවගෙන් බහුතරයකට මෙතෙක් පුරවැසිභාවය හෝ ස්ථිර වීසා බලපත්‍ර හිමිව නොමැත.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සරණාගත පිරිස අතරින් මෙතෙක් පුරවැසිභාවය හිමිව ඇත්තේ පුද්ගලයන් 11 දෙනෙකුට පමණි.
එම 11 දෙනාගෙන් දැනට ඡන්ද අයිතිය හිමිව ඇත්තේ එක් අයෙකුට පමණි.
සෙසු 10 දෙනා තමන්ව ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා මේ වන විට අයදුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ පැවති වාර්ගික ගැටුම් හේතුවෙන් ඉන්දියාවට පළා ගිය මෙම ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ට නීත්‍යානුකූල පුරවැසිභාවය ලබා දීම අත්‍යවශ්‍ය මානුෂීය පියවරක් බව මහ ඇමතිවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.