කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදු වූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර සිසුන් ද සිටින බවට වාර්තා වන අතර, මෙම සිදුවීම මුළු කැනඩාවම කම්පනයට පත් කර තිබේ.
මෙම බිහිසුණු ප්‍රහාරයෙන් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී. වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් සහ ගුරුවරුන් විශාල පිරිසක් රැඳී සිට ඇති බැවින් මහත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
සිද්ධිය වාර්තා වූ වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන්ම වටලා විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකාර වෙඩික්කරු ද මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා තහවුරු කරයි.
ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බ්‍රිටිෂ් කොලම්බියා පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ප්‍රහාරකයා පාසලේම සිසුවෙකු ද නැතහොත් පිටතින් පැමිණි පුද්ගලයෙකු ද යන්න පිළිබඳව ද මේ වන විට තොරතුරු විමර්ශනය වෙමින් පවතී.