ශ්‍රී දළදා මාලිගාවේ වන්දනා කටයුතු වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද (17) සිට ක්‍රියාත්මක වේ.
බැතිමතුන් පැමිණෙන වාහන මහනුවර නගරයට ඇතුළු වීම හේතුවෙන් නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වාහන නගරයට ඇතුළු වීම අද සිට සීමා කරන බව පොලීසිය පවසයි.
දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ වාහන නවතා තැබීම සඳහා විශේෂ ස්ථාන සකසා ඇති අතර එම ස්ථානවල සිට දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සපයා ඇත.
දළදා වන්දනාවෙන් පසු බැතිමතුන්ට නැවත වාහන නවතා ඇති ස්ථාන වෙත යාමට පොදු ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික් කොට්ඨාස රථවාහන අංශය භාර පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා පැවසීය.
දළදා වන්දනාව හෙට (18) පස්වරු 3.30 ට ආරම්භ වී පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
ඉන්පසු 19 සිට 27 දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව පැවැත්වීමට නියමිතය.
දළදා වන්දනාව සඳහා ලක්ෂ 20 කට වැඩි දේශීය හා විදේශීය බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත.
මේ හේතුවෙන් මහනුවර නගරය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ජනතාව පරීක්ෂා කිරීම, රථවාහන පාලනය සහ මාර්ග බාධක රාජකාරි සඳහා රජයේ නිලධාරීන් 35 ක් ඇතුළුව පොලිස් නිලධාරීන් 10,000 කට වැඩි පිරිසක් යොදවා ඇත.
බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, පොලිස් සුනඛ අංශය, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ නිලධාරීන් ද යොදවා ඇත.
දළදා වන්දනාවට පැමිණීමේදී සුදු ඇඳුම්වලින් සැරසී පැමිණෙන ලෙසත් විශාල ගමන් මලු, කැමරා, වීඩියෝ උපකරණ සහ අනෙකුත් විද්‍යුත් උපකරණ මාළිගාවට රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.